කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂය පිළි නොගන්නේ නම් තමන්ද කථානායකවරයා පිළි නොගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
කොළඹදී අද 13දා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
“අපට විපක්ෂ නායක ධුරය ලබා දීමට එරෙහිව ආණ්ඩුව මතු කළ තර්ක හතරටම අපි පිළිතුරු දුන්නා. අපිට කථානායකතුමාට මේවා කියලා දෙන්න පුළුවන්. ඒත් තේරුම් ගන්න මොළයක් දෙන්න විධියක් නෑ. මම නම් හිතන්නේ එතුමාගේ ප්රශ්නය මොළය නොවේ කොන්ද. අගමැතිවරයාට හරිම බයයි. එතුමා කටයුතු කරන්නේ අගමැතිවරයා කියන විදිහටයි. අපි ප්‍රශ්නයක් ඇහුව්වාම එතුමා අගමැතිවරයා දිහා බලනවා. අගමැතිවරයා සිරස් අතට මෙහෙම ඔළුව වැනුවොත් උත්තරය ඔව්. අගමැතිවරයා තිරස් අතට මෙහෙම ඔළුව වැනුවොත් උත්තරය නෑ.
කථානායකතුමා අපව පිළිගන්නේ නැති නම් අපටත් එතුමාව පිළිනොගෙන ඉන්න සිදු වෙනවා. එතුමාට ගරු කථානායකතුමනි කියා අමතන්නේ නැතුව ඉන්න පුළුවන්. එතුමා සභාවට ඇතුළු වන විට අසුනෙන් නැගිටින්නේ නැතුව ඉන්න පුළුවන්.
අපි ඇතුළු වන විට පිටවන විට හිස නමා එතුමාට ආචාර කිරීම නවත්වන්න පුළුවන්. එතුමාගේ නියෝග පිළිගන්නේ නැතුව ඉන්න පුළුවන්. හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ අපේ ඊළඟ පියවර කුමක්ද කියන එක තීන්දු කර ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.”