ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව හෙළි කරන පුද්ගලයන් බිය ගැන්වීමේ නීච වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙනී සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පසුගියදා එල්ල වූ ගල් මුල් ප්‍රහාරයෙන් හා සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියෙන් පැහැදිලි වන්නේ, අඳුරු යුගයක සෙවනැලි මතු වෙන බව යැයිද විජයවර්ධන මහතා පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (16දා) පෙරවරුවේ හමු වූ අවස්ථාවේදී නියෝජ්‍ය නායකයා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා,
"රට දිනෙන් දින අගාධයකට ගමන් කරමින් සිටිනවා. ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව හෙළි කරන පුද්ගලයන් බිය ගැන්වීමේ නීච වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වන බව පැහැදිලියි. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයේ තමන්ගේ අදහස් ලියන පුද්ගලයන් රහස් පොලීසියෙන් ගොස් බිය ගන්වනවා. කවි පොතක් ලියූ තරුණයෙකු අවුරුද්දක් පමණ රහස් පොලීසියේ තියාගෙන හිටියා.
ආණ්ඩුව භාෂණයේ නිදහස තහවුරු කරන්නේ මෙහෙමද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවගේ භාෂණයේ නිදහස තහවුරු කර තියෙනවා. හැබැයි ඇත්තටම භාෂණයේ නිදහස දැන් තියෙනවාද කියන සැකය අපට මතු වෙනවා.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල නිවසට එල්ල වූ මැර ප්‍රහාරය අපි හෙළා දකිනවා. මාධ්‍යවේදීන්ට නිදහසේ අදහස් පළ කරන්න බැරි නම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? අවි අයුධ අරන් ඇවිත් ගල් මුල් ගහලා අහසට වෙඩි තියා නිදහසේ පලා යන්න පුළුවන් නම් ඒ රටේ නීතියක් තියෙනවාද කියන ප්රශ්නය අපට මතු වෙනවා. දැන් අලුත්ම තත්ත්වය සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන අය වගේම මාධ්‍ය හමු පවත්වලා අදහස් පළ කරන අයත් අත්අඩංගුවට ගන්නවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ෂෙහාන් මාලක අත්අඩංගුවට ගන්නේ පාතාලයෙන් ඇවිල්ලා වගෙයි.
ඔහු වරදක් කරලා තියෙනවා නම් ඇයි පොලිස් නිලධාරීන් වගේ ඇවිත් අත්අඩංගුවට ගන්නේ නැතුව පාතාලයන් වගේ ඇවිත් අත්අඩංගුවට ගන්නේ. මෙයින් පැහැදිලි වන්නේ ජනතාව බිය වැද්දීමේ යටි අරමුණක් තිබෙන බවයි. මෙහෙම කටයුතු කරන්න ගියොත් ලෝකය අපි දෙස බලන්නේ ප්රජාතන්ත්රවාදය වළලා දැමූ රටක් විදියටයි.
ලබන මාසය වෙන කොට යළිත් අපට ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු කියන්න තියෙනවා. එතනදි මේ ප්‍රශ්න ඇදෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ අපට විරුද්ධව යෝජනාවක් සම්මත කර ගන්නයි. මේ ආණ්ඩුව විරුද්ධවාදීන්ට හිරිහැර කරමින් ඊට අවශ්‍ය පසුබිම හදා තිබෙනවා. ඊට පස්සේ මානව හිමිකම් සමුළුවට විරුද්ධව ලංකාව ඇතුළේ කෑ ගහනවා.
මෙවැනි ක්‍රියා කර ලංකාව ප්රජාතන්ත්රවාදී රටක් නොවන බවට පෙන්වන්න ගියොත් විදෙස් රටවල් අපට උදව් කරයිද? ආයෝජකයන් ලංකාවට එයිද? රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න නම් ජාත්‍යන්තරයේ සහාය අපට අවශ්‍යයි. විදෙස් සංචාරකයන් පනහක් සියයක් ආවා කියා අපේ රටේ තිබෙන ඩොලර් ප්රශ්නය විසඳා ගන්න බෑ.
රටේ තියෙන ඩොලර් ප්රශ්නය විසඳා ගන්න නම් විදෙස් ආයෝජන එන්න ඕනේ. විදෙස් ආයෝජකයන් එන්නේ රටක් ප්‍රජාතාන්ත්‍රික නම් විතරයි. ප්රජාතන්ත්රවාදයක් නැති තමන්ගේ විරුද්ධවාදීන් කැලෑ නීතියෙන් පාලනය කරන්න හදන පාලනයක් තියෙනවා නම් ආයෝජන එන්නේ නෑ. ඒ වගේම විදෙස් රටවල් ආධාර දෙන්නෙත් නෑ. ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න බැරි ආණ්ඩුව දැන් විරුද්ධවාදීන් මර්දනය කරන්න හදනවා.
රටේ ජනතාවගේ බහුතරයකට දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත එපා වෙලා. රටකට මෙහෙම ඉස්සරහට යන්න බෑ. පස්සට තමයි යන්නේ. අද රට පාලනය කරන්නේ රිවස් ආණ්ඩුවක්. ආර්ථික අර්බුද, සමාජ අර්බුද හමුවේ ඉදිරියට එන ජනතාව ආණ්ඩුව මැර බලයෙන් කැලෑ නීතියෙන් මර්දනය කරන්න උත්සාහ කරනවා" යැයිද සඳහන් කළේය.
