සර්ව පාක්ෂික රජයක් බිහිකිරීම තුළින් රටේ පවතින ප්‍රශ්න විසඳීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල සිටම රජයට යෝජනා කළත් වත්මන් ජනාධිපතිවරයා එම ඉල්ලීම පසෙකලා සර්ව පාක්ෂික රජයක් බිහි නොකොට සාම්ප්‍රදායික රජයක් බිහි කිරීමට උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය .
කැබිනට් ඇමතිධුර විස්සකට සීමාකොට සර්ව පාක්ෂික රජයක් බිහි කළ යුතු බවට එහිදී තම පක්ෂය යෝජනා කළ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඉදිරියේදී බිහි කිරීමට නියමිත රජයේ කැබිනට් ඇමැති ධූර 30 සහ රාජ්‍ය ඇමති ධුර 40 ලබා දීමට නියමිත බවද වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ මහරගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක සමන් පුෂ්පකුමාර ලංකේශ්වර මහතා සිය තනතුරට පත්වීමෙන් අනතුරුව ඉකුත් (28) දා තලවතුගොඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක සංවිධානය කර තිබූ පළමු ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.
මට මතකයි නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා කියා සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව පාක්ෂික රජයක් බිහි කළ යුතු බවයි. එහෙම කියපු මා මිත්‍ර නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා පහුවෙනිදා රජයට එකතුවෙලා ඇමතිකමක් ගත්තා. ඊට පස්සෙ මාධ්‍ය හමුවේ ඔවුන් කියා සිටිනවා පක්ෂය අනුමැතියෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙස් මත රජයට එකතු වූ බව. ඒක පට්ටපල් බොරුවක් . කිසිම වෙලාවක මගේ හෝ පක්ෂයේ අනුමැතියක් ඔවුන්ට ලබල දුන්නේ නැහැ.
ඒ විදියට දැන් හදා ගෙන තියෙන්නේ සර්ව පාක්ෂික රජයක් නෙමෙයි. සාම්ප්‍රදායික ආණ්ඩුවක්. අපිට ආරංචියි ඉදිරියේදී කැබිනට් ඇමතිධුර 30 රාජ්‍ය අමාත්‍යධුර අමාත්‍ය ධුර 40 දීලා අලුතෙන් ආණ්ඩුවක් හදන්න යනවා කියලා. මේ හැදෙන්නෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. ඒක සම්ප්‍රදායික ආණ්ඩුවක . ඒ සදහා අපේ කිසිම එකඟතාවයක් නෑ. අපි යෝජනා කළේ ඇමතිධූර විස්සකින් අලුත් ආණ්ඩුවක් හදමු කියලා. ඒත් එහෙම වුණේ නෑ. මේ අතරෙ තවත් අය මට යෝජනා කරනවා අලුත් ආණ්ඩුවේ අගමැතිකම භාර ගන්න කියලා. අනේ දෙයියනේ මටනම් අගමැති වෙන්න ඕනේ නැහැ.
අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණාට අදටත් මේ රට පාලනය කරන්නෙ පොහොට්ටු පක්ෂයේ නායකයො.ඒක තමයි ඇත්ත කතාව. මොකද පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්නේ පොහොට්ටවේ .ඉතින් යම් පනතක් සම්මත කරනවා නම් ඔවුන්ගේ උදව් ඇතිව තමයි කෙරෙන්න ඕනෙ. ඉතින් එවන් රජයක කිසිම තනතුරක් ගන්න මම යන්නෙත් නැහැ. පක්ෂය ඒකට අනුමැතිය දෙන්නෙත් නෑ. යම් කෙනෙක් පක්ෂ අත හැරල යම් කෙනෙක් රජයට එකතු වෙනවා නම් ඒ යන්නෙ රට හදන්න නෙමෙයි තනතුරු ලබා ගන්නයි. එයයි අපේ ප්‍රතිපත්තිය. මේ පාලකයින්ට පවතින ප්‍රශ්න විසදීමට කිසිම සැලැස්මක් නෑ. ඒ සඳහා විසඳුම් ඇත්තෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව පමණයි.”
ශාන්ත ප්‍රදීප් කුලරත්න
