අනුරාධපුර ශික්ෂණ රෝහල 4 වන ජාතික රෝහල කිරීමට යයි
උතුරු මැද පළාතේ මෙරට විශාලතම දිස්ත්‍රික්කයේ පිහිටි මෙන්ම මෙරට තුන්වන විශාලතම තෘතීයික සත්කාර රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ කළමනාකරණ රැස්වීම - 2026 (Management Committee Meeting) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (10) අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා මෙම කරුණු අනාවරණය කරන ලදි.
ඉදිරි වසර කිහිපය තුළ ලොකුම වැඩබිම ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහල පත්වන බවත්, රෝහලේ නාම පුවරුව වෙනස් කරන්නේ රෝහලේ ගොඩනැගිලි සැළසුම් සහගත වැඩපිළිවෙළකට ගොඩනැගීමෙන් අනතුරුව, රෝහලට අවශ්‍ය සියළු සම්පත් ලබාදීමෙන් අනතුරුව බව මෙහිදි පැවසු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා රජයේ පාලන කාලය තුළ රෝහල් 05 ක පමණ නාම පුවරු අවශ්‍යතාව අනුව වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද ඉන් එක් රෝහලක් ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහල පෙන්වා දිය හැකි බව ද පැවැසීය.
සැළසුම් සහගත වැඩපිළිවෙලක් තුළ අනුරාධපුර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමේ දී වසරින් වසර රෝහල පසු කළ යුතු කඩයිම පිළිඳව ද ඉළක්කගත වැඩපිළිවෙළක් වන බවත් රෝහලක නමක් වෙනස් කිරීමේ දී ගැඹුරින් සැළකිළිමත් වන බවත් පැවැසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය සමයේ දිවයිනේ විවිධ රෝහල්වල අවිධිමත්ව සිදු කළ රෝහල් ඉදිකිරිම් වල අවශ්‍යතාවයන් පිළිබඳ කරුණු සොයා බලා සමහර ඉදිකිරීම් සිදු කිරිමටත්, තවත් සමහර ඉදිකිරිම් සීමා කිරිමටත්, සමහර ඉදිකිරීම් සිදු නොකිරීමටත් කටයුතු කළ බව ද වැඩිදුරටත් පැවැසීය.
රජයේ රෝහල් පද්ධතිය තුළින් ලබාදෙනු ලබන රෝගී සත්කාර සේවාවන් වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විතව ජනතාව වෙත ලබාදීම සඳහා පවතින අඩුපාඩු සොයා බලා ඒවාට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව මෙම රෝහල් කළමණාකරණ කමිටු රැස්වීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ ද සහභාගීත්වය ඇතිව පවත්වනු ලබයි.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලක්ෂ 09 කට අධික ජනතාවකට මෙන්ම, පොළොන්නරුව, වව්නියාව, ත්‍රීකුණාමලය, මන්නාරම, පුත්තලම මුලතිව් වැනි අවට දිස්ත්‍රික්කවල මිලියන 03 කට අධික ජනතාවකට සෞඛ්‍ය සේවා සපයන අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති කළමණාකරණ කමිටු රැස්වීමේ දී රෝහලේ මානව සම්පතෙහි පවතින ගැටළු පිළිබඳව අවධානය යොමු කළ කළ අතර, පසුගිය සමයේ අතරමඟ නවතා දමා තිබු මේ වනවිට නැවැත ඉදිකිරීමි කටයුතු ආරමිභ කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය, රෝහලේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රතිසංස්කරණ කටයුතු, වෛද්‍ය උපකරණ සහ නිල නිවාස අවශ්‍යතාව වැනි රෝහලේ භෞතික සමිපත් අවශ්‍යතාවයන් පිළිබඳවත්, රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනයේ දී උද්ගතව තිබුණු ගැටළු රැසකටත් වැඩි අවධානයක් යොමු කරමින් විසදුම් ලබාදීමට ද පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන්, මූල්‍ය කළමණාකරණය, ප්‍රගතිය, විමසා බැලීමට ද මෙහිදී කටයුතු කෙරිණි.
විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සහ පරිපාලන නිලධාරීන්ගේ අවශ්‍යතාවය රෝහල් පාලනාධිකාරිය මෙහිදී පෙන්වා දෙන ලද අතර, සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තුළ සැළසුම් සහගතව බඳවා ගැනීම් සිදු කරන බැවින් ඉදිරියේ දී රෝහලේ මානව සම්පත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ හැකි බවත්, දැඩ් අවශ්‍යතාවයක්ව පැවැති හෙද නිලධාරින් ඔක්තෝබර් මස වනවිට යම් ප්‍රමාණයක් ලබාදිය හැකි වන බව ද, සෞඛ්‍ය කාර්ය සහායක කාර්ය මණ්ඩල ද බඳවා ගැනීමට කටයුතු සූදානම් සූදානම් කර ඇති බවත්, විකිරණ ශිල්පීන් ද බඳවා ගැනීම් සිදු කිරීම යටතේ ඉදිරියේ දී ඉහත කාර්ය මණ්ඩල අවශ්‍යතාව කඩිනමින් සපුරාලිය හැකි බව ද තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙකු මෙම වසර තුළ ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් මෙහිදි අවධාරණය කරන ලදි.
ජීව වෛද්‍ය උපකරණ යටතේ ස්නායු ශල්‍ය ඒකකය සඳහා දැනට අකර්මණ්‍යව ඇති උපකරණය වෙනුවට Operating Microscope උපකරණයක්, විකිරණ ඒ්කකය සඳහා CT Machine and Mammogram යන්ත්‍රයක්, පිළිකා රෝග ඒ්කකය සඳහා Single Energy LINAC machine යන්ත්‍රයක අවශ්‍යතාව වන බව ද රෝහල් කාර්ය මණ්ඩලය මෙහිදී පෙන්වා දෙන ලදි. එම උපකරණ අතරින් සේවා කටයුතු සිදු කර නැවැත ප්‍රතිකාර සේවා ලබාදීමට හැකි උපකරණ ප්‍රතිකාර සඳහා කඩිනමින් යොදා ගැනීම පිළිබඳවත් 2027 උපකරණ අවශ්‍යතා ලැයිස්තුවට ඉහත උපකරණ ඇතුළත් කර අවශ්‍යතාව අනුව එම අත්‍යාවශ්‍ය උපකරණ රෝහලට ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී නිලධාරින් පෙන්වා දෙන ලදි.
එමෙන්ම රෝහලේ ඉදිරිපස මාර්ගය දෙපස පදික වෙළෙදාම හේතුවෙන් සහ අනවසර ඉදිකිරිම් හේතුවෙන් පත්ව ඇති ගැටළුකාරී තත්ත්වය සමනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ අතර, රෝහලේ ආරක්ෂක සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණ අතර, රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු ද අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවකින් තොරව ලබාදිය හැකි බව ද පෙන්වා දෙන ලදි.
රෝහලේ ඖෂධ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන ලද අතර, වෛද්‍ය සැපයුම් අංශය වෙතින් වෙතින් ලබාදෙන සැපයුම් ප්‍රමාණවත් නොවීම, වෛද්‍ය සැපයුම් ප්‍රවාහන පහසුකම් නොමැතිකම, නිසි ආයතනික ගබඩා පහසුකම් නොමැතිකම, දේශීය මිලදී ගැනීම් සම්බන්ධ අභියෝග පිළිබඳව රෝහල් පාලනාධිකාරිය දැක් වූ අදහස් සැළකිල්ලට ගනිමින් ඒ පිළිබඳ අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබාදිමට වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් ඉදිරි දින කිහිපය තුළ රෝහල වෙත කඩිනමින් යොමු කිරීමට ද මෙහිදී තීරණය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
