අනියම් සැමියාට කප්පන් මුදල් දීමට නොහැකිව මාස අටේ දියණියක් වඩාගෙන අහුන්ගල්ලේදී දුම්රියට පනින්න ගිය දෙදරු මවක් බේරා ගැනීමට අද (28) පස්වරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අහුන්ගල්ල උප කදවුරේ නිලධාරීහු සමත්වූහ.
මෙසේ බේරාගෙන ඇත්තේ අහුන්ගල්ල,වැලිකන්ද පදේශයේ පදිංචි තිස් හැවිරිදි දෙදරු මවකි. ඇයගේ සැමියා විදෙස්ගතව සිටින බව ද පැවසේ.
සැමියා විදෙස්ගතව සිටින මේ කාන්තාව හිටපු පොලිස් නිලධාරියෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වගෙන ගොස් ඇති බවත් ඔහු සමග කාමරවලට ගොස් ගත කළ අයුරු හිටපු පොලිස් නිලධාරියා සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ගෙන එය පෙන්න පෙන්නා ඒවා සැමියාට යවන බව පවසා ඇයගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බවත් මේ වනවිට ඔහු ඇයගෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ අරගෙන ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
හිටපු පොලිස් නිලධාරියා අද(28) පස්වරුවේ තමාට රුපියල් හැටදහසක් ඉල්ලා ඇති බවත් එය දීගැනීමට නොහැකි හෙයින් මාස අටේ දරුවා සමග අහුන්ගල්ලේදී දුම්රියට පනින්න හැදු අවස්ථාවේදී ඒ ආසන්නයේ මාර්ග සංචාරයේ යෙදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අහුන්ගල්ල උප කදවුරේ නිලධාරීන්ට සැලවී ඇය එයින් බේරා ගෙන අහුන්ගල්ල පොලීසියට භාරදී තිබේ.
ඇය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඇය සමග කාමර තුළ ගත කළ අවස්ථා ජංගම දුරකතනයෙන් වීඩියෝ කළ හිටපු පොලිස් නිලධාරියා සහ කාන්තාව සමග ගත කළ අවස්ථා වීඩියෝ කළ ජංගම දුරකතනයද අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව අහුන්ගල්ල පොලීසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අහුන්ගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.