ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් කටයුතු ඉහළ නැංවීමට, ත්‍රස්තවාදී හා අන්තවාදී තර්ජන හඳුනා ගැනීමට හා තවත් කරුණු ගණනාවක් පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතා සමග සාකච්ඡා කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව නීතිය ක්‍රියාත්මක කිරීමේදී එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම සහ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතා සමග සරත් විරසේකර මහතා සාකච්ඡා කළ බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඩුබායිහිදි පැවති මෙම සාකච්ඡවේදී, අපරාධ හා ත්‍රස්තවාදී අනතුරු මැඬලීම, නීතිය ක්‍රියාත්මක කිරීම, වර්ධනය කිරීම යන මාතෘකා මූලික කර ගෙනත් සාකච්ඡා කර තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
තලේබාන්වරුන් 2021 අගෝස්තු මස 15වැනිදා ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඉන්දීය සාගර කලාපයේ සිදුවන මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් වර්ධනය වී ඇති බවට සරත් වීරසේකර මහතා මෙහිදී පෙන්වාදී තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එසේම මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට සුදුසු බව ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතා මෙහිදී පෙන්වාදී තිබෙන බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර පොලීසිය මගින් ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතාට ස්තුතිය පළ කර තිබෙන අතර, මෙම පර්යේෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් ලියොන් හා සිංගප්පූරුව වෙතින් දේශීය ආයතන හා එක්ව ක්‍රියාත්මක කිරීමට මෙරටට එවන ලද කණ්ඩායම් විසින් සිදුකරන ලද සේවාව පිළිබඳ ස්තූතිය පළ කළ බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
