ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් හෙට (21දා) අනුරාධපුරය හා පොළොන්නරුව සියලු රෝහල්වල හෙද නිලධාරීන් එක්දින වැඩවර්ජනයක් සිදු කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
පවතින ගැටලු විසඳා ගැනීමට බලධාරීන් සමග සාකච්ඡා සිදු කළද, බලධාරීන් ගැටලුවලට විසඳුම් ලබා නොදෙන බැවින් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවද එම සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා සඳහන් කළේය.
මේ අනුව හෙට (21දා) උදෑසන 7.00 සිට පසුදා (22දා) උදෑසන 7.00 දක්වා කාලය තුළ තම සංගමයට අයත් හෙද නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරන බවත්, මීට අමතරව පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිට හෙට (21දා) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන අතර, එම ක්‍රියාමාර්ගවලට අනුව ගැටලු විසඳීමට කටයුතු නොකළොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
උතුරු මැද පළාත් රෝහල්වල හෙද නිලධාරීන්ට 2016 හා 2017 වර්ෂයට අදාළ අතිකාල හිඟ මුදල් ලබා නොදීම හා පළාත් සභාව යටතේ සේවය කරන හෙද නිලධාරීන්ගේ රාජකාරි පෞද්ගලික ලිපි ගොනුවල පවතින ගැටලු විසඳීමට කටයුතු නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.