සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1977 වසරේ මහා මැතිවරණයට ඉදිරිපත්ව ආසන 08 ඇද හැළුණු පක්ෂය නැවතත් 1994 වසරේදී මෙරට ආණ්ඩු බලය ලබා ගත් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව මුහුණුවරක් ලබා ලබාදෙමින් අනාගත ආණ්ඩුවක් බිහි කිරීමේ අරමුණ ඇතිව ශක්තිමත්ව පක්ෂය ගොඩනඟන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පැවසීය .
මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. පක්ෂයේ නව නිලධාරි මණ්ඩල සාමාජිකයන් ඇතුළු ක්‍රියාකාරීන් ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු අස්ගිරි උභය මහ විහාරිය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ රට දැනුම් දීමේ අරමුණින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි .
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් රජය සමඟ රටේ සංවර්ධනයටත් ජනතාවගේ අනාගත සුභ සිද්ධිය පිණිසත් පක්ෂයක් විදිහටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්14 දෙනා විදිහටත් සුහදශීලී ව කටයුතු කරනවා.
ඒ සහයෝගය වත්මන් රජයට ලබා දෙන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපේ ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. පසුගිය මාස පහක පමණ කාලය තුළ පාක්ෂිකයන්, උගතුන් හා බුද්ධිමතුන් විද්වතුන් අපෙන් අහන්න පටන් ගත්තා ශ්රීලනිපය මොකද කරන්නේ කියලා. පක්ෂය නැගිට්ටවලා ශක්තිමත් කරගෙන ඉදිරියට යන්නේ නැද්ද කියලා ගොඩක් අය අපෙන් විමසුවා .
බෞද්ධ සංස්කෘතිය සමඟ ශ්‍රී ලාංකික ඓතිහාසික පසුබිම ශක්තිමත් කළා වූ ඉතිහාසයක් සහිත ව ගොඩ නැගී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සියලු ආගමික බැතිමතුන් සෑම කෙනකුටම සමාජ සාධාරණත්වය පැහැදිලි ලෙසම ඉටු කරන පක්ෂයක්.
පක්ෂයේ ඉතිහාසය ගත් විට අපි කවුරුත් දන්නවා පක්ෂය බිහි කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 56 ඇති කළ සමාජ පෙරළියත් සමඟ මේ රටේ ලේ නොසොල්ලා මහා විශාල විප්ලවයක් එතුමා කළ බව . ඉංග්‍රීසිය පාලනයෙන් පසු අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවය ආගම, භාෂාව, සියල්ල ශක්තිමත් කරන අතරතුර බමුණු කුලය බිඳ දමමින් නැති බැරි මිනිසුන්ට ඔලුව උස්සන් ඉන්න පුළුවන් සමාජයක් බණ්ඩාරනායක මහතා ඇති කළා.
දුප්පත් පවුල්වල දරුවන්ට අධ්‍යාපනය හදාරලා සිංහලෙන් උපාධිය ගන්න මග පෑදූ ප්රගතිශීලී වැඩ රාශියක් එතුමා කළා . සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම වැඩපිළිවෙළ ඊටත් වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන ගියා . චන්ද්‍රිකා මැතිනිය, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ පක්ෂයේ නායකයින් විදියට රටට විශිෂ්ට සේවයක් කළා . එසේම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් රජය ගොඩනගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වූ පක්ෂයක්"
.