වැඩ කරන ජනතාවගේ මුදල් මංකොල්ලකෑමට සූදානම් වන අධිභාර බද්දක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය වහාම හකුළාගන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බල කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට ඉතිහාසයේ විවිධාකාරයෙන් අතපෙවීම් කළ පුද්ගලයන් වර්තමානයේ රට පාලනය කරන බවත්, ඒ අනුව අදාළ ගැසට් නිවේදනයෙන් අර්ථසාධක අරමුදල සහ විශ්‍රාමික පාර්තෝෂික අරමුදල ඉවත් කරන්නැයිමුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් කී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
" මේ ආණ්ඩුව අධිභාර බද්දක් පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරලා මේ වනවිට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි පික්පොකට් ගහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. මේක ඊයේ ඉදිරිපත් කළේ. අපේ රටේ තිබෙන ලොකුම අරමුදල අර්ථසාධක අරමුදල. මේක ට්‍රිලියන 03ක් වෙනවා.
2020 වසරේ මේ අර්ථසාධක අරමුදලේ ලාභය දල වශයෙන් රුපියල් බිලියන 250ක්. ඒ අනුව මේ 25% බද්ද තුළරුපියල් බිලියන 65කට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලිවලට තට්ටු කරන්නයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. දැන් ආරම්භ කරලා තිබෙනවා වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියක්. ඒකට වැඩකරන ජනතාවගේ අර්ථසාධක සල්ලිවලින් 25% බද්දක් ගහලා තමන්ගේ ගොලබාලයන්ට සාත්තු සප්පායම් කරන්නයි මේ කටයුතු කරන්නේ.
මම මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ අසික්කිත ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්න එපා. වැඩ කරන ජනතාවගේ සල්ලි මංකොල්ලකන්න ලෑස්ති වෙන්න එපා. කරුණාකරලා මේ ඉදිරිපත් කළ ගැසට් එක වහාම හකුළ ගන්න"