අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත්වරුන්ට සම්මන්ත්‍රනයක් පවත්වා ඇති බවත් එහිදී මහේස්ත්‍රාත්වරුන්ට පැමිණෙන ලෙස යොමු කළ ලිපිය මගින් සහ එම සම්මන්ත්‍රණය මගින් විධායකයට අනූරූපිවන පරිදි තීන්දු ලබා දෙන ලෙස මුලුමනින්ම මහේස්ත්‍රාත් අධිකරණ වලට අනිසි බලපෑමක් සහ අධිකරණ ක්ෂේත්රයටම විශාල තර්ජනයක් ලක්කොට තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 21/2 යටතේ අද (17දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අදාල ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වන සංජීව සෝමරත්න මහත්මාගේ අත්සනින් යුතුව මහේස්ත්‍රාත්වරුන්ට යොමු කර ඇති බවත් මෙම සම්මන්ත්රනයට සහභාගීම අනිවාර්ය වන අතර එලෙස සහභාගී නොවේ නම් සේවා උසස්වීම් වලදී, වාර්ෂික වැටුප් වැඩි කිරීම් වලදී , විදේශ පුහුණු කිරීම් වලට තෝරා ගැනීමේදී ,ඉහල අධිකරණ වලට උසස් කිරීමේදී ඒ පිළිබද සැලකිල්ලට ගන්නා බවට එම ලිපිය මගින් මහේස්ත්‍රාත්වරුන්ට බලපෑමක් සිදු කර ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
“අධිකරණයේ ස්වාධීනත්වට බලපෑම් එල්ල වීම හේතුවෙන් විනිසුරුවරුන්ට මුහුණ පෑමට සිදුව ඇති තත්වයක් පිළිබද මෙම සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී පාලනයක ඉහලම කුලුණු තුනයි. කෙසේ වුවද පසුගියදා අධිකරණ සේවා කොමිසම විසින් කැදවන ලද සම්මන්ත්‍රනයකදී විධායකයේ අවශ්‍යතාවය අනුව පොලීසිය විසින් අධිකරණයෙන් කරන ඉල්ලීම් වලට මහේත්රාත්වරුන් විසින් ලබා දුන් තීන්දු පිළිබද අදහස් පළ කරනු ලැබී ඇති බවත්, ලබා දිය යුතු තීන්දු පිළිබද බලපෑම් සිදුවී ඇති බවත්, එයින් අධිකරණයේ ස්වාධීනත්වයට අනිසි බලපෑමක් සිදුව ඇති බවත් කරුණු වාර්ථා වෙනවා.
පසුගිය 09 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වන සංජීව සෝමරත්න මහත්මාගේ අත්සනින් යුතුව 2021.08.13 වැනි දින පෙරවරු 09.30 සිට පස්වරු 01.00 දක්වා විනිසුරුවරුන් පුහුණු කරණ ආයතනයේ දේශන ශාලාවේ සියලු මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් සම්මන්ත්‍රනයක් පැවැත්වෙන බවට දැනුම් දී තිබෙනවා.
එසේම ඉහත සම්මන්ත්රනය සඳහා සහභාගී වීම අනිවාර්ය බවත් එසේ සහභාගී නොවුනොත් සේවා උසස්වීම් වලදී, වාර්ෂික වැටුප් වැඩි කිරීම් වලදී , විදේශ පුහුණු කිරීම් වලදී තෝරා ගැනීමේදී ,ඉහල අධිකරණ වලට උසස් කිරීමේදී ඒ පිළිබද සැලකිල්ලට ගන්නා බව අදාල ලිපියේ තුන්වැනි වගන්තියේ සඳහන් කරලා තිබෙනවා. එය බලපෑමක් වෙන්නේ නැතිද අධිකරණයට.
මෙම සම්මන්ත්රනයේ මහේස්ත්‍රාත වරුන් අපේක්ෂාවෙන් සිටියේ කෝවිඩ් වසංගත තත්වය යටතේ රාජකාරී කිරීමේදී ඇති වී තිබෙන තත්වය පිළිබද සාකච්ඡාවක් කරනු ඇති බවටයි. වාර්තා වන අන්දමට එම මූලික අරමුණින් වෙනස්ව, එහිදී රටේ ප්රජාතන්ත්රවාදයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලවත් තර්ජනයක් වන ආකාරයෙන්ද කරුණු පල වී ඇති බවට දැන ගන්න ලැබෙනවා.
විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයන්ගෙන් කෙරුනු දැනුවත් කිරීම් වලට අනතුරුව පසුගිය කාලයේ විවිධ විරෝධතා අරඹයා පොලීසිය විසින් කරන ඉල්ලීම් වලට අදාලව මහේස්ත්‍රාත්වරුන් විසින් ලබා දුන් තීන්දු පිළිබදව සහ එවැනි තීන්දු නිසා ඔවුන්ගේ වෘත්තිය ජීවිතයට අනිසි බලපෑම් ඇති විය හැකි බව අදහස් දක්වා තිබෙනවා.
අධිකරණ සේවා කොමිෂන් සභාවට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට හෝ පහළ අධිකරණ වල විනිසුරුවරුන්ගේ ස්වාධීන තීන්දු ගැනීමේ අයිතියට බලපෑම් සිදු කළ නොහැකියි. එසේම මෙම තීන්දු ගැනීම තුළ වෘත්තීය ජීවිතයට බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවට අනියම් තර්ජනයක් සිදු කළ නොහැකියි. අවම වශයෙන් දුරකතනයෙන් හෝ ලිපියක් මගින් හෝ කිසිදු ආකාරයක බලපෑමක් පහල අධිකරණ වල විනිසුරුවරුන් වෙත සිදු කළ නොහැකි බවත් එය ඍජුව අධිකරණයේ ස්වාධීනත්වයට අත පෙවීමක් බවත් පැහැදිලි වෙනවා.
විශේෂයෙන්ම මේ මහේස්ත්‍රාත්වරුන් කැදවන ලිපියේ අඩංගු වන වගේම සම්මන්ත්රනයේදී ඉදිරිපත් කරන ලද අදහස් මුලුමනින්ම අපේ මහේස්ත්‍රාත් අධිකරණ වලට කරන ලද අනිසි බලපෑමක් සහ අධිතරණ ක්ෂේත්රයටම විශාල තර්ජනයක් ලක්කොට තිබෙනවා විධායකයට අනූරූපිවන පරිදි තීන්දු ලබා දෙන්න කියලා. ඒ සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් අදාල අමාත්‍යවරයා සිදු කරනු ඇති බවට අපි විශ්වාස කරනවා.”යනුවෙන්ද සඳහන් කළේය.