කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට අද (07) නියෝගයක් නිකුත් කළේය.
මෙහිදි සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් මේ සම්බන්ධයෙන් රහස් පොලීසිය සිදුකරන පරීක්ෂණ වලට බලපෑම් නොකරන ලෙසත් කරන්නාගොඩ මහතාට නියෝග කළ විනිසුරු මඩුල්ල ලබන 11 වනදා පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද නියම කළේය.
කප්පම් ලබාගැනීම සඳහා තරුණයින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ වලදී හෙළි වු තොරතුරු අනුව යැයි කියමින් ව්‍යාජ තොරතුරු පදනම්ව තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇතැයි සඳහන් කරමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබු අතර අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවටත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීමක් සිදු නොකරන බවටත් කරන්නාගොඩ මහතා දිවුරුම් පෙත්සමක් මඟින් අධිකරණයට පොරොන්දු වී තිබු කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.
කරන්නාගොඩ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට හෝ රහස් පොලීසියට මෙම නියෝගයෙන් කිසිදු බාධාවක් නොමැති බව අවධාරණය කළ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට ද නියම කළේය.
බුවනෙක අලූවිහාරේ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.
නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා , එහි අධ්යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු පස් දෙනෙකු නම් කොට ඇත.