කොතරම් පාලන මිලක් දැමුවත් මේ රටේ සහල් හිමියන් ඊට අනුගත නොවන බවත් සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිද දමන තුරු අපට මේ ප්‍රශ්නයෙන් ගොඩඒමට පුළුවන් කමක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ ( 29) වනදා පෙරවරුවේ අගුණුකොලපලැස්ස ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් සදහා එක්වෙමිනි.
ඒහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අද මෝල් හිමියන්ට යටත් වෙලා අපට ඉන්න සිදු වෙලා තිබෙනවා. රජය සහල් සදහා පාලන මිලක් දැම්මත් ඊට මේ රටේ සමහර මෝල් හිමියන් අනුගත වෙන්නේ නෑ. මේ තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොවෙයි. පසුගිය කාලය පුරාම අපි මේ තත්ත්වය දැක්කා. මේ තත්ත්වයට මුහුණු දීමට නම් රාජය සහල් සකසා අළෙවි කිරීමේ ක්‍රමවේදයකට යා යුතු වෙනවා. වී අළෙවි මණ්ඩලය වී මිලදී ගෙන සහල් නිපදවා අළෙවි කිරීමේ ක්‍රමවේදයකට යා යුතු වෙනවා.
සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිද දමන තුරු අපට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් කමක් නෑ. මම කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් කටයුතු කරද්දී වී අළෙවි මණ්ඩලය හරහා සහල් නිපදවා අළෙවි කීරීමේ වැඩ සටහනක් ආරම්භ කළා . අපිට එය ක්‍රියාත්මක කරන්න පුළුවන් කම ලැබුණේ සති කිහිපයක් පමණයි. පසුගිය රජය ඒ වැඩ පිළිවෙල නවතා දැමුවා. ඒ නිසා අදටත් සහල් මෝල හිමියන්ගේ ඒකාධිකාරයට මේ රටේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙනවා .
පසුගියදා සහල් මිල යම් තරකමකට ආණ්ඩුවට වැඩි කරන්නට සිදු වූයේ සහල් හිඟයක් මේ රටේ ඇති නොවන්නට වග බලා ගැනීමට මේ ආණ්ඩුවට වුවමනාවක් තිබුණු නිසා. එහිදී වී මෝල හිමියන්ගේ පැත්තනේ මෙන්ම ජනතාවගේ පැත්තෙන්ද කරුණු සොයා බලා ආණ්ඩුව ක්‍රියා කළා. . කෙසේ නමුත් මේ රටේ සහල් මිල ස්ථාවරව පවත්වා ගෙන යාමට නම් සහල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට ආණ්ඩුවද මැදිහත් විය යුතු වෙනවා. සතොස සතුව සහල් මෝල් කිහිපයක් තිබෙනවා. එය වඩා ශක්තිමත් කළ යුතුයි. රජය සහල් නිෂ්පාදනය සදහා සම්බන්ධ විය යුතුමයි. එසේ නොවෙන තාක් කල් මේ රටේ සහල් මිල මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් පලනය කරන බවයි” අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ.