අතුරු වෛද්‍ය සේවාවලට අයත් පිරිස් සේවයට වාර්තා කිරීමේදී ඇති වී තිබෙන ඉන්ධන ගැටලු, ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා බලධාරීන් වැඩපිළිවෙළක් සකස් නොකිරීමට විරෝධය දක්වා හෙට (29දා) සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් සිදුකරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
එහෙත් පවුල් සෞඛ්‍ය සේවාවට අයත් පිරිස් මාතෘ වාට්ටු තුළ හා අනෙකුත් පිරිස් රෝහලවල අත්‍යවශ්‍ය සේවා කටයුතුවල නිරත වන බවද මෙම පෙරමුණෙ සාමාජික සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා පැවසීය.
මෙම වැඩවර්ජනය සඳහා මෙම පෙරමුණ නියෝජනය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පාසල් දන්ත චිකිත්සකවරුන්, දන්ත කාර්මික ශිල්පීන්, විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පීන්, ඛන්තු රේඛන ශිල්පීන්, ඖෂධ සංයෝජකයන්, සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් සම්බන්ධන වන බවද ඒ මහතා පවසා සිටියේය.
පවතින ඉන්ධන ගැටලුව නිසා හා ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා මෙම පිරිස් සේවයට වාර්තා කිරීමේදී හා කේෂත්ර රාජකාරීවලට යාමේදී විශාල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බවත්, පවතින ගැටලු විසඳන ලෙස අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලීම සිදුකළ බවත් දිස්නක දිසානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව මෙම සේවාවන්ට ඇති වී තිබෙන උසස්වීම් ගැටලු විසඳීම සඳහාත් බලධාරීන් කටයුතු නොකරන බවත්, මෙම ගැටලු විසඳන ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී වසරකට ආසන්න කාලයක් ගත වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
අද උදෑසන 8.00 ආරම්භ කර වැඩ වර්ජනය පැය 48 පුරා ක්‍රියාත්මක කරන බවත්, මෙම ක්‍රියාමාර්ගයට විසඳුම් නොලැබුණහොත් 01වැනිදා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, කීට විද්‍යාඥයන් ක්ෂේත්‍ර රාජකාරී කටයුතුවලින් ඉවත්වන බවත්, මෙම ක්‍රියාමාර්ගය ලබන මස 05වැනිදා දක්වා පැවැත්වෙන බවත් දිස්නක දිසානායක මහතා පැවසීය.
එසේම 05වැනිදා වනවිට අදාළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් 05වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.