පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන මෙන් ඉල්ලා අද දින අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කළේය.
2025 අගෝස්තු 5 දින මාධ්‍ය හමුවක් පවත්වමින් ගම්මන්පිල මහතා විසින් හිටපු කොටි ත්‍රස්තවාදි නායකයෙකුගෙන් ලබා ගත් ගොතන ලද සාක්ෂි මත හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාව අත්අඩංගුවට ගැනීම විවේචනය කරන ලදී .
උදය ගම්මන්පිල මහතා ජනවර්ග අතර අසමගිය ඇති කරන හෙයින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ (අයිසීසීපීආර් පනතේ) 3(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක් කර ඇති බවට විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 අගෝස්තු 27 දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇත.
මේ පිළිබඳව උදය ගම්මන්පිල මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි,
"මෙසේ පදනම් විරහිතව අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ එකී පනත යටතේ අත්අඩංගුවට ගත් විට ඇප ලබා ගැනීම අතිශයින්ම දුෂ්කර බැවිනි. මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් අයෙකුට ඇප ලබා දීමට මහෙස්ත්‍රාත්වරුන්ට නොහැකිය. ඒ සඳහා වූ ඇප අයදුම්පත මහාධිකරණයට යොමු කළ යුතු බැවින් ඒ ක්‍රියාවලියට මාස ගණනක් ගත් වේ. එමෙන්ම ඇප ලබා ගත හැක්කේ අධිකරණයට පිලිගත හැකි සුවිශේෂි කරුණු ඉදිරිපත් කරන්නේ නම් පමණි. එබැවින් ඇප ලබා ගැනීමට ඇති අවස්ථාව අතිශයින්ම සීමිතය.
මෙම පනත ලොව පුරා ආණ්ඩු විසින් විරුද්ධවාදින් මර්දනය කිරීම සඳහා අවභාවිතා කරන බැවින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් යම් ප්‍රකාශයක් වෛරී ප්‍රකාශයක් දැයි හඳුනා ගැනීමට නිර්ණායක හයක් සම්පූර්ණ කළ යුතු බව තීරණය කරන ලදී. රබාත් ප්ලෑන් ඔෆ් ඇක්ෂන් (The Rabat Plan of Action) නමින් හඳුන්වන්නේ එම පරික්ෂාවයි. එකී පරික්ෂාව අනුව කිසිම අයුරකින් 2025 අගෝස්තු 5 දින ගම්මන්පිල මැතිතුමා කළ ප්‍රකාශය වෛරී ප්‍රකාශ ගණයට නොවැටේ. එබැවින් මෙම පනත යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ගම්මන්පිල මැතිතුමාව දිගු කලකට නිහඬ කර රණවිරු දඩයම තීව්ර කිරීමටත් විපක්ෂය මර්දනය කිරීමටත් බව පැහැදිලිය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන් රණවිරු දඩයම සඳහා සාක්ෂි ලෙස ගොතන ලද කතා තමන් විසින් හෙලිදරව් කළ බැවින් ඔවුන් තමන් සමග වෛරයකින් පසුවන බැවින් මෙම පදනම් විරහිත නඩුව පසුපස ඔවුන් ඇතැයි තමන් විශ්වාස කරන බව ගම්මන්පිල මැතිතුමා පවසයි. 2017 දී හිටපු කොටි සාමාජිකයෙකු වන විජයකාන්තන්ගෙන් ගොතන ලද සාක්ෂියකට අත්සන් ගෙන රණවිරුවන්ට නඩු පැවරීමට වෙර දැරූ අවස්ථාවේ ද පාස්කු ප්‍රහාරයේ වගකීම හමුදා බුද්ධි අංශ මත පැටවීමට වෙර දැරූ අවස්ථාවේ ද භාරති නම් කොටි නායකයාගෙන් ලබා ගත් බොරු සාක්ෂියක් මත හිටපු නාවික හමුදාපති උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ද එකී ගොතන ලද කතා සමාජයට හෙලිදරව් කලේ තමන් බව එතුමා සිය පෙත්සමේ පවසයි. එමෙන්ම රවි සෙනෙවිරත්න මහතා පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තෙකු ලෙස නම් කළ ජනාධිපති කමිටු වාර්තාව වත්මන් ජනාධිපතිතුමා විසින් සඟවා ගෙන සිටි අවස්ථාවේ එය හෙලිදරව් කලේ තමන් බව එතුමා පවසයි.
තමන් ජාතික යුතුකමක් ඉටු කිරීම මත අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට යන හෙයින් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එතුමා අධිකරණයෙන් ඉල්ලා සිටියි.
එසේම මර්ධන කාරී ICCPR පනත දේශපාලඥයෙකු අත්අඩංගුවට ගැනීම සදහා යොදාගනු ලබන්නේ ඉතිහාසයේ පලමු වතාවට බව ඒ මහතා අවධාරණයය කරයි."