ශ්‍රී ලංකා ආර්ථිකය ලබා තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි ( SUZUKI Shunichi) මහතාගේ දැඩි ප්‍රසාදයට ලක් වෙයි.
මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට උදා කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බවද සඳහන් කළේය.
මෙම ආර්ථික ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ප්‍රදර්ශනය වූ නායකත්වය පිළිබඳව ගෞරවය පළ කළ අමාත්‍යවරයා “ඔබේ රටේ ආර්ථික තත්ත්වය සැලකිය යුතු දියුණුවක් අත්කරගෙන ඇති බව මට වැටහෙනවා. ඉතින් ඒ ඔබතුමාගේ ශක්තිමත් නායකත්වය නිසා බව මම විශ්වාස කරන අතර ඔබතුමා දැක්වූ එම නායකත්වය පිළිබඳව මා තුළ විශාල ගෞරවයක් පවතිනවා” යැයි ද පැවසීය.
ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (H.E. Mr. SUZUKI Shunichi) මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදීය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජපාන මුදල් අමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරතව සිටියි.
ශ්‍රී ලංකා ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී ආර්ථික ස්ථායීකරණය සහ ණය තිරසාරභාවය පිළිබඳ අවධානය යොමු කරමින් සුවිශේෂී ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට රජය ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
ජාත්‍යන්තරයේ සියලු රටවල් සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම එම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ජපාන රජය ලබාදුන් සුවිශේෂී සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ පළමු සමලෝචනය ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කිරීම මෙහිදී ඇගයීමට ලක් කළ ජපාන මුදල් අමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකාව විසින් සිදු කරන අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආර්ථිකය තුළ පවතින වත්මන් ධනාත්මක තත්ත්වය පිළිබඳව මෙහිදී සුබවාදී ලෙස අදහස් පළ කළ ජපාන මුදල් අමාත්‍යවරයා නිල සහ පෞද්ගලික ණය හිමියන් සමඟ පවතින ජාත්‍යන්තර විශ්වාසය ඉහළ නැංවීමට එමඟින් හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.
නිවැරදි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුවීම. සංචිතවල සාර්ථක වැඩිවීමක් සහ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම වැනි ජයග්‍රහණය පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අගය කළේය.
එසේම පසුගිය වසරේ තුන්වන කාර්තුවේ දී පෙන්නුම් කළ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ ධනාත්මක ලක්ෂණ පිළිබඳවද සිහිපත් කළ ඒ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේ දී ඉතා සුබවාදී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බවද සඳහන් කළේය.