ජනාධිපතිතුමා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කළේ වෙළඳ අමාත්‍යාංශයේ ඉල්ලීමට බව වෙළෙඳ අමාතභ බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
"වෙළෙඳපොල තුළ අතරමැදි ජාවාරම්කරුවන් යොදාගනිමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැස්කොට කෘතිම භාණ්ඩ හිඟයක් මවා පා මිළ ඉහළ නැංවීමේ කුමන්ත්‍රණකාරි වැඩ පිළිවෙලක් ඉකුත් මහ කන්නයේ සිට ක්‍රියාත්මක විය. මෙසේ කෘතිම ලෙස මිළ ඉහළ නංවන අවස්ථා වලදී, පාරිභෝගික සේවා අධිකාරිය විසින් සාමාන්‍ය වෙළෙඳපොලේ එකී භාණ්ඩ විකිණිය හැකි උපරිම සිල්ලර මිළ නියම කරමින් ගැසට් නිවේදන නිකුත් කරන ලදී. නමුත්, ජාවාරම්කරුවෝ විසින් උපරිම සිල්ලර මිළට වඩා වැඩි මිළට දිගින් දිගටම භාණ්ඩ අළෙවි කරන ලදී. පාරිභෝගික සේවා අධිකාරිය විසින් අඛණ්ඩව වැටලීම් සිදු කොට, නඩු පවරනු ලැබුවද, වැරදිකරුවන් විසින් 2003 අංක 09 දරණ පාරිභෝගික සේවා අධිකාරී පනතේ මෙතෙක් පැවති රු.2,500/= දඩය ගෙවමින් නැවතත් එම වරද දිගින් දිගටම සිදු කරන ලදී.
රජයේ ගැසට් නිවේදන අවඥාවට ලක් කිරීමට විපක්ෂය විසින් දිගින් දිගටම කටයුතු කරන ලද අතර, මාධ්‍ය සංදර්ශන මඟින් ඔවුන් ජාවාරම්කරුවන්ට උත්තේජන සපයමින් ක්‍රියා කළහ. විෂය භාර අමාත්‍යවරයා වශයෙන් දිගින් දිගටම අතිගරු ජනාධිපතිතුමා ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ අවධානය මෙම කරුණ සම්බන්ධයෙන් යොමු කිරීමෙන් පසුව, යල් පැන ගිය 2003 අංක 09 දරණ පාරිභෝගික සේවා අධිකාරී පනතට සංශෝධන 75ක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.
මෙවර වී අස්වැන්න ලැබෙනවිට නැවතත් මෝල් හිමියන් හා අතරමැදියන් විසින් වංචනිකව කටයුතු කළ නිසා හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා, රජයේ සහතික මිළට වඩා වැඩියෙන් භාණ්ඩ අළෙවි කරන්නන්ට විරුද්ධව පනවා තිබූ රු.2,500/=ක දඩය රු.ලක්ෂයක් දක්වා වැඩි කොට පාරිභෝගික සේවා අධිකාරී පනත සංශෝධනය කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
මේ අතරතුර,රට තුළ පවත්වාගෙන යනු ලබන වී, සහල්, සීනි, පරිප්පු, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ තොග ගබඩා ලියාපදිංචිය අනිවාර්ය කොට නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුගත වූ යහපත් වෙළෙඳ සමාචාර සහිත ව්‍යාපාරිකයන් හා ආනයනකරුවන් විසින්, ඔවුන් සතුව සත්‍ය වශයෙන්ම පවත්නා තොග පිළීබඳව සම්පූර්ණ විස්තර පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබා දුන් අතර වංචනික ව්‍යාපාරිකයන් එකී තොග හෙළිදරව් නොකළ අතර නීති විරෝධී ලෙස ගබඩා පවත්වාගෙන යාම සිදු කරන ලදී.
ඒ අනුව ඉකුත් සතිය තුළ මාගේ නියමයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරින් කණ්ඩායමක්, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල නීත්‍යානුකූල නොවන අයුරින් පවත්වාගෙන ගිය වී ගබඩා සියල්ල මුද්‍රා තබන ලදී. මෙසේ මුද්‍රා තැබුවද, එම තොග කඩිනමින් පවරා ගැනීමට නීතිමය බලයක් පාරිභෝගික සේවා අධිකාරියට නොමැති විය.
වී වෙළෙඳපොල තුළ මෙම තොග සැඟවීම සිදු වන අතරතුර සීනි වෙළෙඳපොල තුළ ද තොග සැඟවීම සිදු වෙමින් පැවතිණි. පසුගිය සතිය වන විට සීනි ආනයනකරුවන් විසින් සීනි කිලෝවක උපරිම සිල්ලර මිළ රු.250/= දක්වා ඉහළ නංවනු ලැබීය.
මෙරට පවත්නා සාමාන්‍ය සිවිල් නීතිරීති යටතේ මෙම තත්වය පාලනය කළ නොහැකි බව මා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත වාර්තා කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාමාන්‍ය සිවිල් නීතිය යටතේ මෙවැනි හදිසි තත්වයක් තුළ පාරිභෝගික ජනතාවට ආරක්ෂාව සපයමින් වෙළෙඳ මාෆියාව මර්දනය කිරීමට අවශ්‍ය කටයුතු සැලැස්වීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අතිගරු ජනාධිපතිතුමා පැවරෙන බලතල ප්‍රකාරව හදිසි අවස්ථා නීතිය යටතේ අත්‍යවශ්‍ය ආහාර කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී.නිවුන්හැල්ල මහතා පත් කරන ලදී.
ඒ අනුව, අත්‍යවශ්‍ය ආහාර කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී.නිවුන්හැල්ල මහතා විසින් පවරාගනු ලබන, අත්පත් කරගනු ලබන හෝ මිළදී ගනු ලබන හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සියල්ල, රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පවතින සතොස ආයතනයට පවරාදෙනු ලබන අතර සතොස මඟින්, සමූපකාර, Q-shop හා අනෙකුත් අළෙවිසැල් හරහා සාධාරණ මිළගණන් යටතේ එම ද්‍රව්‍ය මෙම බැරෑරුම් අවස්ථාවේදී බෙදාහැරීමට කඩිනමින් ක්‍රියා කරනු ලැබේ.
රට තුළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ වල කිසිදු හිඟයක් නොමැති විටකදී මෙම තොග සඟවා තබන්නන් විසින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස භාණ්ඩ හිඟයක් මවා පෑම වැළැක්වීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලබන බව අවධාරණය කිරීමට කැමැත්තෙමි."