පාසල් සිසුන්ට සහ උපකාරක පන්ති වලට සහභාගි වන සිසුන් ඉලක්ක කර ගනිමින් පෙති අලෙවි කළ කාන්තාවක මහනුවර නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත දරුවෙකුද වඩාගෙන දින ගණනාවක් මහනුවර නගරයේ සැරිසරමින් සිටි මෙම කාන්තාව පිළිබඳව සැක සිතී පොලිස් ආවේක්ෂණ නිලධාරීන් යොදා සිදු කළ විමර්ශනයකදී ඇය පාසල් සිසුන්හට මත්පෙති අලෙවි කරන බවට අනාවරණය වීමෙන් අනතුරුව, අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයේ දී ඇය සන්තකයේ තිබී මානසික රෝගීන් සඳහා දෙනු ලබන ඖෂධ පෙති කිහිපයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ .
ඉන් අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය කාලයක් තිස්සේ පාසල් ළමුන්ට සහ උපකාරක පන්ති වලට සහභාගි වන සිසුන්ට මත්පෙති අලෙවි කළ බවට අනාවරණය වී තිබේ .
ඖෂධ හල්වල රුපියල් 15 ක් වැනි මුදලකට අලෙවි කරනු ලබන එම ඖෂධ පෙත්තක් පාසල් ළමුන් සඳහා රුපියල් 100ත් 150ත් අතර මුදලකට අලෙවි කොට ඇති බවට අනාවරණය වී තිබේ.
එම කාන්තාවගෙන් දීර්ඝ වශයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම ඖෂධ අලෙවි කළ බවට සැක කෙරෙන මහනුවර නගරයේ ප්‍රධාන පෙලේ ඖෂධ හල් හිමිකරුවෙකු සහ ඔහුගේ සහායකයෙකුද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී. කේ. රත්නායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස දූෂණ මර්දන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
ෂේන් සෙනෙවිරත්න