අඩු මිලට ඩීසල් ලීටර් 2000ක් ලබා දෙන බවට පවසා අනුරාධපුර නගරයේ ප්රධාන යුධ හමුදා කඳවුරක උසස් නිලධාරියෙකුගේ රුපියල් ලක්ෂ 7 ක මුදලක් වංචා කර රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18දා) විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම උසස් නිලධාරියා විසින් පවත්වා ගෙන යනු ලබන ගල් වැඩ පලක සේවය කරන සේවකයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ක්රියාත්මක කළ බව පොලීසිය කියයි .
එම ගල් වැඩ පළ පවත්වා ගෙන යනු ලබන හමුදා නිලධාරියා විසින් තම සේවකයාට රුපියල් ලක්ෂ 7 ක මුදලක් ලබා දී කැබ් රථයෙන් කදවුර ඉදිපිටට යන ලෙසත්, එම නිලධාරියාගේ නම කියා පැමිණෙන පුද්ගලයාට එම මුදල ලබා දී ඩීසල් තොගය ලබා ගන්නා ලෙසත් දන්වා තිබූ බව පොලිසිය කියයි.
පසුව හමුදා කඳවුරේ දොරටුව අසලට ගිය අවස්ථාවේදී උසස් හමුදා නිලධාරියාගේ නම කියා පැමිණි පුද්ගලයාට රුපියල් ලක්ෂ 7 ක මුදල ලබා දීමෙන් අනතුරුව ඩීසල් ලබා දීමට පිටුපස පැමිණෙන ලෙසට දන්වා සිටි බවත් එසේ යන අතරවාරයේදී මුදල් ලබා ගත් පුද්ගලයා තවත් පුද්ගලයකු සමග යතුරුපැදිය නැගී පලා ගිය බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.