ශ්‍රී ලංකාවේ වන ගහනය වර්ධනය කිරීම, තිබෙන වනාන්තර වල ගුණාත්මක භාවය නැංවීම සහ වන සතුන්ට වාසස්ථාන ඇති කිරීම එමගින් වන සතුන් ගම් වැදීම වලකා ගැනීම වැනි කරුණු මූලික කර ගනිමින් ගුවනින් ගොස් බීජ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බිම හෙළී වැඩ සටහනක් ඊයේ ( 30 දා) අනුරාධපුරයේ දී සිදු කෙරිණි.
අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුගම්පලයාගම යෝජිත රක්ෂිතයේ අක්කර 40 ක (හෙක්ටෙයාර්16ක්) භූමි ප්‍රදේශයක මෙහිදී කුඹුක්, මී, මදටිය, පලු, වීර සහ කොහොඹ බීජ අසූ දහසක් හෙලිකොප්ටර්යකින් ගොස් බිම හෙලීම මෙහිදී සිදු කල අතර එම වැඩ සටහන අටවන ජාතික ගුවන් බීජ බෝම්බ මෙහෙයුම ලෙස නම් කර තිබුණි.
වර්ෂා කාලය ආරම්භ වීමත් සමග, ලඳු කැලෑ, යෝජිත රක්ෂිත ප්‍රදේශ මූලික කර ගනිමින් දැවමය ශාක, පළු වැනි සතුනට ආහාරමය ශාක බීජ මෙම මෙහිදී බිම හෙලූ අතර මේ මගින් වන ගහනය වැඩි කිරීම මූලික අරමුණ වන අතර, එමගින් වන සතුනට ආහාර මෙන්ම වාසස්ථානද ලැබෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අනුරාධපුර අඩවි වන නිලධාරී සුමිත් සුවාරිස් මහතා මෙසේ පැවසීය.
"මුලින්ම කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ වන ගහනය වර්ධනය කිරීමටත් එහි ගුණාත්මක භාවය ඉහල නැංවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන දායකත්වය මිල කල නොහැකි කාර්යයක් බව,
බැලූ බැල්මට ලඳු කැලෑ වල් වගේ පෙනෙන රක්ෂිත කලාප, යෝජිත රක්ෂිත ප්‍රදේශ තිබෙනවා, මහජනතාව හිතා ගෙන ඉන්නේ ඒවායේ රූස්ස ගස් නැති නිසා ඉඩම් අල්ල ගත්තට ගැටලුවක් නැහැ කියලා.එම ලදු කැලෑ එලි පෙහෙලි කරලා වගා කලාට කමක් නැහැ කියලා.
මෙම ගුවනින් බීජ දීමේ වැඩ සටහනේදී දේශීය විශේෂ බීජ වර්ග බිම හෙලනු ලැබුවා. කාලයක් ගතවන විට මේ බීජ රූස්ස ගස් බවට පත්වෙනවා.මිනිසුන් බහුලව ලදු කැලෑ එළි කලාට, විශාල ගස් කපා දැමීමට ජනතාව බියක් දක්වනවා. ඒ වගේම අලි ඇතුන් වැනි වන සතුන් ගම් වැදීම යම් ප්‍රමාණයකින් හෝ අඩු වී අලි මිනිස් ගැටුම මෙමගින් අවම වනවා."
