සමාජ මාධ්‍ය යහපත් දේට යොදාගත යුතු බවට නේපාලයට අද වන විට පාඩමක් කියාදී තිබෙනන බවත් එහි තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදැන එම රට විනාශයට පත් කොට ඇති බව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක පූජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම ලිපිය මෙසේයි.
නේපාලයේ ඇතිවූ අතිශය කණගාටුදායක සිදුවීම් මාලාව පිළිබඳව අප මහත්සේ කම්පනයට පත් වූවා. අප බුදුපියාණන් වහන්සේ උපන් දේශයේ මෙවැනි ශෝචනීය දරුණු කැරැල්ලක් නිර්මාණය වී ඇති වූ සංවේග ජනක සිදුවීම් මාලාව කිසිසේත් සුළු කොට තැකිය නොහැකියි.
දකුණු ආසියාතික රටවල් වැනසීමේ යම් යම් කුමන්ත්රණකාරී වැඩපිළිවෙළවල් කලක සිට ක්‍රියාත්මක වෙන බව පැහැදිලිව පෙනී යනවා. විශේෂයෙන් අතීතයේ බෞද්ධ රටවල්ව තිබූ රටවල් මෙන්ම බෞද්ධ උරුමයන් ඇති රටවල ගැටුම් ඇතිකර එම රටවල් වැනසීමට ගන්නා උත්සාහයක් ඇති බව නේපාලයේ සිදුවීම දෙස බලන විට පෙනී යනවා. සමාජ මාධ්‍ය භාවිතයට තරුණ පිරිස ඇබ්බැහි වී ඇති බව පවසමින් ඒවා තහනම් කිරීමට වඩා එම සමාජ මාධ්‍ය තුළින් තරුණ පිරිසට තම රට ගැන හැඟීමක් මෙන්ම එම රටේ ඉතිහාසය උරුමය කියාදීමේ වැඩපිළිවෙළක් තිබුණා නම් නේපාලය අද මෙවැනි දරුණු ඛේදවාචකයකට මුහුණ පාන්නේ නැති බව පැහැදිලිය.
නේපාලය වැනසීමේ කැරැල්ලේ පෙරමුණගත් තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදන්නා පිරිසක් බව පැහැදිලිය එසේ දැන සිටියා නම් ඔවුන් තමන්ගේ රට මේ අන්දමින් විනාශ නොකරනු ඇති. අද සමාජ මාධ්‍යයේ වැඩිහරියක්ම දක්නට ඇත්තේ වෛරය ඊර්ෂ්‍යාව වපුරන ගැටුම් ඇති කරන අදහස් බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.
මේ නිසා සමාජ මාධ්‍යය යහපතට යොදාගත යුතුයි යන්න අපට නේපාලය අද පාඩමක් කියා දී තිබෙනවා. නේපාලය යනු දියුණු වෙමින් පවතින රටක්. තමන් මේ විනාශ කර දැම්මේ තමන්ගේ දේපොළ බව එම රටේ තරුණ පිරිසට අවබෝධ වීමට වැඩි දිනක් ගත වන එකක් නැහැ. අතීතයේ මහා රජවරු පාලනය කළ නේපාලය අද ගිනි ගෙන දැවෙන විට එම රටින් බිහි වූ මහා පුරුෂයෙකුගේ දහම පිළිපදින මිනිසුන් සිටින ලංකාවේ ජනතාවට ඇති වූයේ මහා සංවේගයක්.
නේපාලයේ අරගලය ම්ලේචර් පැත්තට ඇදී ගොස් අමු අමුවේ මිනිසුන් මරා දමන තත්ත්වයට පත්වුණා. මෙම තරුණ පිරිස පිටුපස සිට ඔවුන් කවුරුන් හෝ මෙහෙයවා ඇති බව පැහැදිලිය. මෙම සිදවීම මහා ඉතිහාසයක් ඇති නේපාලනයේ ඒ ගෞරවයට සිදු වූ බරපතළම හානියක් බව සිහිපත් කළ යුතුයි. තවද පාලකයෝ රට පාලනය කරනවා වෙනුවට රටේ පිරිස් විසින් පාලකයෝ පාලනය කරන තත්වයක් උදා වුණහොත් ප්රජාතන්ත්රවාදයත් මිනිස් සංහතියත් මේ මිහිතලයෙන් අතුගෑවේ යන දිනය වැඩි ඈතක නොවනු ඇත. එම නිසා ගිනිගන්නා ලොව නිවන්නට අද ලෝක ආගමික නායකයෝ සියල්ල පෙරට ආ යුතු බව සිහිපත් කළ යුතුයි.