අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළු වැව, ගලෙන්බිඳුනුවැව හා යකල්ල ප්‍රදේශවල කුඹුරු ඉඩම්වල පිහිටි ගොඩ කොටස ඇතුළත් ඉඩම් අක්කර 1000ක බඩඉරිගු වගාව සඳහා යුරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (02දා) තීරණය කළේය.
වී වගාව ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සියලුම දිස්ත්‍රික්ක ගොවි සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡාවක් අද (02දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී අනුරාධපුර ගොවි සංවිධාන නියෝජිතවරයා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.
ඉන්දීය රජයේ මැදිහත්වීම යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 5000ක් වෙන් කර තිබෙන්නේ දිවයිනේ බඩඉරිගු වගාව සඳහායි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා ඊයේ (01දා) පස්වරුවේ හමුවූ අතර එහිදී ඉන්දීය රජය විසින් මෙරටට ලබා දෙන පොහොර පිළිබඳ සාකච්ඡා කළ බවත් ඒ අනුව කඩිනමින් එම පොහොර මෙට්‍රික් ටොන් 65000 ලබා දීමට පියවර ගෙන ඇතැයි මහකොමසාරිස්වරයා පැවසූ බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම අනුරාධපුර නිදහස් බඩඉරිගු ගොවි සංසදය විසින් ද තවත් අක්කර 1000ක් යල කන්නය තුළ බඩඉරිගු වගා කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ද අවශ්‍ය පොහොර ලබා දීමට තීරණය කරන ලදී.
මේ වන විට අප රටේ බඩඉරිගුවලින් නිෂ්පාදිත සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා කුකුළු මස්, බිත්තර හා කිරි නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති හෙයින් මෙම බඩඉරිගු සත්ත්ව ආහාර වශයෙන් ලබා දීමට පියවර ගත හැකි බව ද අමාත්‍යවරයා කීය.
යුරියා පොහොර අනිවාර්යයෙන්ම ලබා දෙන බව සඳහන් කළ අමාත්‍යවරයා හෙට දින සිට ම බඩඉරිගු වගාව ආරම්භ කරන ලෙස දැනුම් දුන්නේය.