2013 වසරේදී යාහූ පරිශීලකයන් බිලියනයකට වැඩි පිරිසකගේ ගිණුම් හැක් කරමින්, ඒවායෙහි දත්ත සොරා ගැනීමක් පිළිබඳව අනාවරණය වී තිබේ.
එය 2014 සැප්තැම්බර් මාසයේදී සිදුවූ හැකර් ප්රහාරයෙන් වෙන්වූ එකක් බවත්, එවර යාහූ පරිශීලක ගිණුම් මිලියන 500ක් පමණ ප්රහාරයට ලක්ව තිබුණි.
ඒ අනුව, මෙවර ප්රහාරයේදී පරිශීලකයන්ගේ නම්, දුකරතන අංක, මුරපද සහ ඊමේල් ලිපින සොරාගැනීමක් සිදුවී ඇති බව යාහූ වෙබ් අඩවිය පවසයි. කෙසේ වෙතත්, එම පරිශීලකයන්ගේ බැංකු ගිණුම් හා ගෙවීම් තොරතුරු සොරාගැනීමක් සිදුව නොමැති බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ වනවිට යාහූ වෙබ් අඩවියේ හිමිකාරීත්වය දරණ වෙරිසෝන් සමාගම විසින් පොලීසිය හා බලධාරීන් සමග එක්ව මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අරඹා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
යාහූ වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, අවසර නොලත් තෙවැනි පර්ශ්වයක් විසින් 2013 අගෝස්තු මාසයේදී තම පරිශීලකයන් බිලිනයකගේ පමණ දත්ත සොරාගැනීමක් පිළිබඳව අනාවණය වී ඇති බවයි.
කෙසේ වෙතත්, වසර තුනක් පැරණි මෙම හැකර් ප්රහාරය ප්රසිද්ධ නොකිරීමට හේතුව 2014 වසරේ සිදුව තිබූ හැකර් ප්රහාරය සම්බන්ධයෙන්ද පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙමින් තිබූ නිසා බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මේ සියලු කාරණා හමුවේ පෙනී යන්නේ වර්තමානයේදී අන්තර්ජාලය කොතරම් අනාරක්ෂිත ස්ථානයක්ද යන්නයි.