එකතු කළ අගය මත බද්ද (VAT) හා ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) සඳහා සිදුකරනු ලබන සංශෝධන අද (02දා) දිනයේ සිට කිසිදු වෙනස්කමකින් තොරව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ ගැසට් නිවේදනයේ පැවති ආකාරයෙන්ම සිදුවන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
වැට් සම්බන්ධව රට තුළ පැවති ආන්දෝලනයෙන් පසුව ජනතාවට බදු බර පටවන නිලධාරීන් ගෙදර යවන බවට ජනාධිපතිවරයා පොළොන්නරුවේදී සිදුකළ ප්‍රකාශයෙන් පසුව අද දිනයේදී ඉදිරිපත් කෙරෙන වැට් බදු සංශෝධනය සඳහා තවදුරටත් සංශෝධන එකතු වී ඇතිදැයි ඊයේ (01දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කළ විමසීමකදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"නැහැ එහෙම වෙනසක් නැහැ. එතන කිසිම ද්විත්ව ප්‍රතිපත්තියක් නැහැ. මොකද ගැසට් එක ගෙනාවට පසුව දවස් දෙකකට පස්සෙ තමයි ඒ ප්‍රකාශය කරල තිබුණේ. ඊට පෙර තිබුණු කැබිනට් එකක මේ ගැසට් එක තිබුණා. නමුත්, කවදද මේක පටන් ගන්නෙ කියන එක දැනුවත් කරලා තිබුණෙ නැහැ. ඉතින් ඒක තමයි නිවැරදි කළේ. මොකද අපි නැති වෙලාවක තමයි මේක වුණේ. ඒ කලින් සඳහන් වූ දේවල් එහෙම්ම තියෙනවා. හැබැයි මාධ්‍ය දාල තිබුණා අරකට වැට් එනවා. මේවට එනවා කියලා. ඒ වගේ වැට් නැති ඒව ගැන කතා කළාම, අධ්‍යාපනයටත් තිබුණයි කියල කිව්වාම අප්සට ගහනවා. මටත් අප්සට් ගියා" යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.
එමෙන්ම, පවුලේ සියලු දෙනාට අඩු මිලට ඇමතුම් ගන්න, SMS ගහන්න පුළුවන් යුගයක් බිහිකර බව එදා මැතිවරණ වේදිකාවේ පැවසුවත්, අද ඒවා එකිනෙක වෙනස්වන බව අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.
"ඔය කියපු දේවල් එක්ක බලන කොට අපිට පෙන්වපු ආර්ථිකයක් නෙමෙයි භාර ගත්තේ. අපි බාර ගත්තෙ ණය නැහැ, සියලු ආදායම් ලැබෙන ආර්ථිකයක් කියලයි. ඉතිං අපි මෙතන යම් ආදායමක් උපයන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ණය ගෙවන්නයි. ඒ කොටසක් තමයි ඔය අය වෙන්නෙ. ඔය වගේ දේවල් ඡන්ද වේදිකාවල කියන දේවල්. අපි අපේ ඡන්ද පොරොන්දු 100% ක් මේ වනවිට ඉටු කරලා තියෙනවා. පොරොන්දුනෙ ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ. වේදිකාවල කියපු දේවල් කරන්න ගියොත් රටක් දුවන්න බැහැනෙ." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
අද (02දා) දිනයේ සිට ක්‍රියාත්මක VAT සහ NBT සඳහා සිදුකරනු ලැබූ සංශෝධන
එකතු කළ අගය මත බද්ද
බදු අනුපාත වෙනස් වීම
වර්තමානයෙහි පවතින බදු අයවන සැපයුම මත බදු අනුපාතය 11% සිට 15% දක්වා ඉහළ දැමෙයි.
තොග හා සිල්ලර වෙළෙඳාම
බද්දට යටත්වීම තවදුරටත් ක්‍රියාත්මක වන අතර, බදු නිදහස් සැපයුම් (VAT බදු පනතේ පළමු උපලේඛනයේ දෙවැනි කොටසේ සඳහන් භාණ්ඩ සැපයීම) මත වූ බද්ද ඉවත් කෙරේ.
බද්දට යටත් වීමේ සීමාව
වර්තමාන බද්දට යටත් වීමේ සීමාව (රුපියල් මිලියන 100ක් වූ තොග හා සිල්ලර වෙළෙඳාම මත සහ රුපියල් මිලියන 3.75ක් වූ අනෙකුත්) කාර්තුවකට රුපියල් මිලියන 03 හෝ වර්ෂයට (මාස 12ට) රුපියල් මිලියන 12 දක්වා පහත හෙළනු ලැබේ.
බදු නිදහස ඉවත් කිරීම
පහත සඳහන් නිදහස් කිරීම් 2016 මැයි 02 සිට බලපවත්වන පරිදි ඉවත් කරනු ලැබේ.
- විදුලි සංදේශ සේවා
- විදුලි සංදේශ ක්ෂේත්රය සඳහා යොදාගැනෙන යන්ත්‍රෝපකරණ සහ අධිතාක්ෂණික උපකරණ, තඹ කම්බි
- දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු ලබන බලපත්‍ර
- සෞඛ්‍ය සේවා සැපයීම
- 2016.05.02 දිනෙන් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ සේවා සැපයීම.
ජාතිය ගොඩනැගීමේ බද්ද
බදු අනුපාත වෙනස් වීම
වර්තමානයෙහි පවතින බදු අනුපාතය වන 2% නොවෙනස්ව පවතී.
බද්දට යටත් වීමේ සීමාව
වර්තමාන බද්දට යටත් වීමේ සීමාව වන රුපියල් මිලියන 3.75 හෝ දේශීයව නිෂ්පාදනය කරනු ලබන කෘෂිකර්මික නිෂ්පාදන හැර ඇතැම් කර්මාන්ත සඳහා වූ රුපියල් මිලියන 25 සීමාව කාර්තුවකට රුපියල් මිලියන 03 දක්වා පහත හෙළනු ලැබේ.
බදු නිදහස ඉවත් කිරීම
පහත සඳහන් නිදහස් කිරීම් 2016 මැයි 02 දින සිට බලපවත්වන පරිදි ඉවත් කරනු ලැබේ.
විදුලි සංදේශ සේවා, විදුලිය සැපයීම, ලිහිසි ද්‍රව්‍ය
2016.05.02 දිනෙන් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති භාණ්ඩ හා සේවා සැපයීම.