ප්ලොට්,ටෙලෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමේ තීන්දුවක?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තවත් දින දෙකක් ඉතිරිව ඇතිබැවින් එම කාලය තුළ සිය පක්ෂය තීරණයකට එළැඹිය හැකි බවත්, කලබල වීම අනවශ්‍ය බවත් හෙතෙම පවසා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (03දා) දිනයේ රැස්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනෙක් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරති.
මේ අතර,මෙම විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු යැයිද, මෙම විශ්වාසභංගයේදී කුමන හෝ පාර්ශ්වයකට සහාය වීමට පෙරාතුව එකී පාර්ශ්වය සමග ලිඛිත අබබෝධතාවකට අත්සන් කළයුතු බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
වත්මන් දේශපාලන වාතාවරණයේදී සුළු ජාතීන්ට එරෙහි ක්‍රියාවන් ඇතිවීමට හේතුවී ඇත්තේ මහජාතියේ නායකයන්ට එල්ල වන බලපෑම් බවත්, මෙම අවස්ථාවේදී කල්පනාකාරීව කටයුතු කරමින් සුදුසු තීරණයක් ගතයුතු බවත්, විග්නේෂ්වරන් මහතා සඳහන් කර සිටි අතර, මේ සම්බන්ධයෙන්ද දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බවදප්රකාශ කළේය. මේ අතර ටී.එන්.ඒ.සන්ධානයේ පක්ෂ දෙකක් වන ටෙලෝ හා ප්ලොට් විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමට මේවනවිට තීන්දු කර ඇති බවද වාර්තාවේ.