ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම් ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද රැස්වූ මධ්‍යම කාරක සභාව මගින් මෙම පත්වීම් සිදුකර ඇත. හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ජාතික සංවිධායක තනතුරට පත්කර ඇත
ඊට පෙර ජාතික සංවිධායක ලෙස කටයුතු කළේ සුසිල් ප්‍රේම්ජයන්ත මහතායි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා පත්කර ඇත.
එස්.බී. දිසානායක මහතා තවදුරටත් භාණ්ඩාගාරික තනතුරේ කටයුතු කරනු ඇත. පක්ෂයේ සභාපති හැර සියලුම තනතුරු දැරූවන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව තාවකාලික නිලධාරී මණ්ඩලය දින 45කට පත්කර ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එසේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හැර අනෙක් මන්ත්‍රීවරුන් සියලු දෙනාම නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්කර ඇත.