පසුගිය මාස නවය ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හතර වතාවක් කැඩී තිබෙන බවත්, ඒ සෑම අවස්ථාවකම ඒ සඳහා තමාගේ සම්බන්ධයක් නැතැයි ඔප්පු කිරීමට සූදානම් බවත් බවත් පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (08දා)පැවසීය.
පිටකෝට්ටේ, පාගොඩපාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ සත්‍යවශයෙන්ම එම පක්ෂය දෙකඩ කළේ කවුරුන්දැයි ඔප්පු කිරීමට අවශ්‍ය සාධක තමා සතුව තිබෙන බවයි.
“අප හිතමිත්‍ර නිමල් සිරිපාල මැතිතුමන් මාධ්‍ය හමුවක් තියමින් කියනවා උදය ගම්මන්පිල ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ එ.ජා.ප. කොන්ත්රාතුවක් කරනවා කියලා. නිමල් සිරිපාල ඇමතිතුමනි, මම අභියෝග කරනවා පාළු ගෙවල්වල වළං බිඳින්නෙ නැතිව මා එක්ක ප්‍රසිද්ධියේ එන්න කියලා මේ සම්බන්ධව විවාදයකට.අන්න ඒ විවාදයේදී මම කියල දෙන්නම්, 2015 ජනවාරි පැවැති ජනාධිපතිවරණයේදී එ.ජා.ප. කොන්ත්‍රාතුව බාර අරගෙන ශ්‍රී.ල.නි.ප.ය පරාජය කිරීමේ කොන්ත්‍රාත්තුව කළේ කවුද කියලා.
ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරණයේදී එ.ජා.ප.ය පරාජය කිරීම සඳහා එ.ජා.ප.යට විරුද්ධව වැඩ කරන්නට ජන වරමක් අරගෙන, ශ්‍රී.ල.නි.ප.ය එ.ජා.ප.යේ වලිගය බවට පත්කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමේ කොන්ත්‍රාත්තුව අද ඇමති ධුර දරමින් කරන්නේ කවුද කියන එක අපට ඒ විවාදයේදී සිරිපාල ඇමතිතුමන්ට පැහැදිලි කර දෙන්න පුළුවන්.
සමහර විට දැන් එතුමා කියන්න පුළුවන් ගම්මන්පිල එක්ක වාද කරන්න එයා කවුද, මම කවුද කියලා. ඒක හිතන්න තිබ්බෙ මං ගැන ප්‍රකාශ කරන්න කලින්. මේ රටේ ජනාධිපතිවරයා නායකත්වය දරන පක්ෂය දෙකඩ කිරීමට තරම් මම බලවන්තයෙක් ලෙස මට චරිත සහතික ලබාදීම ගැනනම් මම එතුමන්ට බොහොම පිං දෙනවා.
අපි නිමල් සිරිපාල මැතිතුමන්ට සිහිපත් කරන්නට කැමතියි පසුගිය මාස 09 තුළ ශ්‍රී.ල.නි.ප.ය හතර වතාවක් කැඩිල තියෙනවා. ඒ අවස්ථා 04 මම කියන්නම්. කැඩුවෙ කවුද කියලා ඔබතුමන්ලා තීරණය කරන්න.
2014 නොවැම්බර්මාසෙ අද ශ්‍රී.ල.නි.ප.යේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හා දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ජනාධිපතිවරණයේදී එ.ජා.ප.ය ඇතුළු පිරිස ජයග්‍රහණය කරවන්න ශ්‍රි.ල.නි.ප.ය පරාජයට පත්කරන්න කටයුතු කළා. එස්.බී. නාවින්න, හිරුණිකා පේමචන්ද්‍ර, රාජිත සේනාරත්න වැනි ඇමතිවරු මේ කැඩී බිඳී යාමේ ප්‍රතිඵල ලෙස එ.ජා.ප.යේ නතරවුණා.
ඒවගේම 2015 ජනවාරි මාසෙ අප්පච්චි මලෝ කණ්ඩායම සිරිසේන මැතිතුමන්ට එක්වෙලා අපේ සභාපති සිරිසේන මැතිතුමන්ය, ලේකම් දුමින්ද දිසානායක මැතිතුමන්ය කියල මාධ්‍ය හමුවක් තියල රටට කියල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවැනි වතාවටත් කැඩුවා.
ඊටපස්සේ 2015 මාර්තුමාසෙ ශ්‍රී.ල.නි.ප.යේ පිරිසක් දින 100 ආණ්ඩුවේ ඇමති ධුර බාරගැනීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පිල හා විපක්ෂයේ පිළ ලෙස දෙකට කැඩීමත්, 2015 අගෝස්තුමාසෙ එ.ජා.ප.යේ ජන්ද පොරොන්දු ඉටුකරන්න වසර දෙකකට එ.ජා.ප.ය සමග ලිඛිත දීගයකට ගිහිල්ලා නිමල් සිරිපාල සිල්වා මැතිතුමන් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ වාඩිවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩීමත් සිදුවුණා" යනුවෙන් ගම්මන්පිල මහතා පවසා සිටියේය.