උප පොලිස් පරීක්ෂකයෙක් ලෙස පෙනී සිටි වරකාපොළ ප්රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වරකාපොළ පොලීසිය විසින් ඊයේ (26දා) රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
වර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
වරකාපොළ ප්රදේශයේ තරුණයෙක් හා තරුණියක් අතර සබඳතාවක් තිබී ඇති අතර තරණයා විවාහකයෙක් බව පසුව තරුණිය විසින් දැනගෙන තිබේ. ඉන් අනතුරුව තරුණයාට සිය නිවසට ඇවිත් දෙමාපියන් සමග කතා කරන ලෙස තරුණිය පවසා තිබේ.
ඒ අනුව තරුණයා තම ගම් ප්රදේශයේ විහාරස්ථානයක හිමනමක් උප පොලිස් පරීක්ෂකයෙක් ලෙස අන්දවා තරුණියගේ නිවසට ගොස් තිබේ.
එහිදී පොලිස් නිලධාරියා ලෙසින් පෙනී සිට ඇති හිමිනම පවසා ඇත්තේ තරුණයා අවිවාහක බවත් සම්බන්ධය විවාහයකින් අවසන් විය යුතු බවත්ය.
මේ පිළිබඳව සැක සිතුනු නිවෙස් හිමියන් වහාම පොලිස් හදිසි ඇමතුම් අංක 119ට කතා කර සිද්ධිය දන්වා තිබේ.
ඉන් අනතුරුව පොලීසිය පැමිණ හිමිනම හා තරුණයා ඊයේ රාත්රියේම අත්අඩංගුවට ගෙන තිබේ.
වරකාපොළ පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.