අලි මිනිස් ගැටුමට විසඳුමක් ලබාදීම වෙනුවෙන් අලිවැටවල් ශක්තිමත් කිරීමේ වැඩකටයුතු වෙනුවෙන් ස්වෙච්ඡා හමුදාවේ 3000ක පිරිසක් තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත් ඒ වෙනුවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 3000ක් ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බවත් අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. අම්පාරේදී පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහස් දැක්වීය.
"තිබෙන අලි වැටවල් දුර්වල තත්ත්වයක තිබෙන නිසා අපි තීරණය කර තිබෙනවා තිබෙන සියලුම අලි වැටවල් ශක්තිමත්ව සකස් කරන්න. දැනට අලි වැටවල් කිලෝමිටර් 4000ක් තියෙනවා. තියෙන තත්ත්වය අනුව තවත් කිලෝමීටර් 1000ක් වත් වැඩි කරන්න සිද්ධ වෙයි කියලා විශ්වාස කරනවා. මේ කාර්යය නිවැරදිව කරන්න අපිට වසරක පමණ කාලයක් යනවා. මේවා හදිස්සියට කරන්න බැහැ. දීර්ඝකාලීනව මුල්බැහැපු ප්‍රශ්න මාසෙක් දෙකෙන් ඉවර කරන්න බැහැ.
පවතින තත්ත්වය අනුව මිනිස් බලය අපිට අඩුයි. මේ පිළිබ ඳව අපි තේරුම් අරන් තියෙනවා. මෙම අමාත්‍යාංශය භාරගෙන දින පහක් ඇතුළත මම අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කළා මිනිස් බලය වැඩිකර ගැනීම සඳහා. අගමැතිතුමා පොරොන්දු වෙලා තියෙනවා වසර හතරක කොන්ත්‍රාත් පදනම මත කම්කරුවෝ 2000ක් දෙනවා කියලා. එතකොට මම ඇහුවා මේ අය නැවත යවන්න ගියාම දේශපාලන ප්‍රශ්න අපිට එනවා නේද කියලා. එතකොට අගමැතිතුමා කිව්වා අවුරුදු හතර වෙනකොට ඒ අය ස්ථිර කරන්න පුළුවන් ක්‍රමයක් හදන්න පුළුවන් කියලා. ඒ වගේම මම ජනාධිපතිතුමාගෙන් මෙම ගැටලුවට පිළිතුරක් හැටියට ස්වේච්ඡා හමුදාවෙන් 3000ක් දෙන්න කිව්වා.
හමුදාව ගත්තම ප්‍රශ්න අඩුයි. ඒ අයට නවාතැන් දෙන්න අවශ්‍ය නැහැ. කෑම දෙන්න අවශ්‍ය නැහැ. ඒ සියල්ලම ඒ අය කර ගන්නවා. ජනාධිපතිතුමා කිව්වා සිවිල් ආරක්ෂක භටයන් 3000ක් දෙන්නම් කියලා. අලි වැටවල් ගැසීම, නඩත්තු කර ගැනීම අවුරුද්දක් ඇතුළත කරගන්න පුළුවන් නම් අපේ වැඩේ සාර්ථක වෙනවා."