(UPDATE) ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් QZ8501 යානය සෙවීමේ මෙහෙයුම් අද (29දා) දින යළි ඇරඹුණු බව විදෙස් වාර්තා දක්වයි.
මගීන් 155ක් සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග 28 වැනිදා උදෑසන 6.24 ජාවා මුහුදට ඉහළදී මෙම යානයේ සම්බන්ධතාව පාලක මැදිරියෙන් බිඳී ගොසි තිබුණි.
ඒ අනුව, ඊයේ දිනය පුරා යානය සෙවීමේ මෙහෙයුම් සිදුකළ අතර රාත්රී කාලයේදී මෙහෙයුම් නතර කෙරිණි. නැවත අද උදෑසන මෙහෙයුම් ආරම්භ වී තිබේ.
යානය අතුරුදන් වීමට පෙර අයහපත් කාලගුණය හේතුවෙන් යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීමට එහි ප්රධාන නියමුවා ඉල්ලීමක් කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
යානයේ අනතුර පිළිබඳ ගැන අදහස් දැක්වූ එයාර් ඒෂියා ප්රධාන විධායක නිලධාරී ටෝනි ෆර්නැන්ඩේස් පවසා සිටියේ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ඔවුන් දැඩි කම්පනයකට පත්ව සිටින බවයි.
"අපිට අනුමාන කරන්න දෙයක් නැහැ. නමුත්, දැන් පැය 12කට වැඩි කාලයක් යානය අතුරුදන් වී ඇති බව පැහැදිලියි. අපි ඒ පීඩනය විඳිනවා" හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඉන්දුනීසියානු බලධාරීන් පෙන්වා දෙන පරිදි ගුවන් යානා සහ යාත්රා මගින් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සුන්බුන් හෝ කිසිදු ආකාරයක හෝඩුවාවක් අද දිනයේ ලැබී නොතිබුණි.
එයාර්බස් A320-200 යානයේ ගමන් කළ මගීන්ගෙන් වැඩි පිරිසක් ඉන්දුනීසියානු ජාතිකයන් බවද පැවසෙයි.