පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයේ MH370 යානය සෙවීමේ මෙහෙයුම තවදුරටත් තීව්ර කරමින්, සාගර පතුලේ තිබිය හැකි බවට සැක කෙරෙන යානයේ කළු පෙට්ටිය සොයා තවත් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
‘පින්ගර් ලොකේටර්’ නම් උපකරණයක් හරහා අතුරුදන් වූ යානයේ කළු පෙට්ටියෙන් නැගෙන සියුම් ශබ්ද තරංග ග්රහණය කරගැනීමක් මෙහිදී සිදුකරන අතර, මේ තුළින් යානය පිළිබඳ නිශ්චිත තොරතුරක් සොයා ගැනීම සෝදිසි කණ්ඩායම්වල අභිලාෂය වී තිබේ.
ඒ අනුව, මෙම පහසුකම් සහිත නෞකා දෙකක් මේ වනවිටත් එම සාගර කලාපයට යවා ඇති අතර, ඔවුන් කිලෝ මීටර් 240ක් දුර විහිදුණු, ගැඹුරු මුහුදු මාර්ගයක් ඔස්සේ යානයේ කළු පෙට්ටිය සොයා මෙහෙයුම් සිදුකරමින් සිටියි.
එමෙන්ම, යානය සම්බන්ධ තවදුරටත් තොරතුරක් සොයා ගැනීම වෙනුවෙන් ගුවන්යානා 14ක් සහ නෞකා 9ක්ද දකුණුදිග ඉන්දියානු සාගර කලාපයේ සෝදිසි මෙහෙයුම්වල නිරත වන බව විදෙස් පුවත් සේවා පවසයි.
බැටරි බලයෙන් නිකුත් කෙරෙන මෙම පින්ගර්ස් හෙවත් සියුම් ශබ්ද තරංග යානයක් අනතුරට පත්වීමෙන් පසුව ක්රියාත්මක තත්ත්වයේ පවතින්නේ දින 30ක කාලයකි.
ඒ අනුව, යානය අනතුරට ලක්ව මේ වනවිට දින 30ට ඉතා ආසන්නයට පැමිණ ඇති නිසා පින්ගර් ලොකේටර් යොදා සිදුකරන මෙම නවතම සොයා බැලීමද කඩිනමින් සිදුකිරීමට සෝදිසි කණ්ඩායම්වලට සිදුව තිබේ.
කෙසේ වෙතත්, MH 370 ගුවන් යානය අතුරුදන් වී දැනට සති හතරකට ආසන්න කාලයක් ගත වී ඇතත් ඊට සිදු වූ දෙය ලොවටම තවමත් අභිරහසකි.
එනමුදු, අතුරුදන් යානයේ සුනුබුන් සොයා ගැනීමේ විශාල ඉඩක් පවතින බවට තමන් විශ්වාස කරන්නේ යැයි මෙහෙයුමට සම්බන්ධ සෝදිසි කණ්ඩායම් තවමත් විශ්වාසය පළ කිරීමද සුළු හෝ අස්වැසිල්ලකට හේතුවක් වී තිබේ.