(UPDATE) පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු යානය හිතමතාම ආපසු හරවා ඇති බවත්, මේ වනවිට යානයේ ගමන්කළ මගීන් හා කාර්යමණ්ඩලය පිළිබඳව විශේෂඥයන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් මැලේසියානු අගමැති නජීබ් රසාක් පවසන බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
“යානය හිතමතා මෙහෙයවීමට යමෙකු ක්‍රියාකර ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා. එබැවින් යානයේ ගමන්ගත් මගීන් හා කාර්ය මණ්ඩලය පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ මෙහෙයවීමට කටයුතු යෙදුවා” යැයි අගමැතිවරයා පවසයි.
මේ අතර, පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය සොයා සිදුකරන දැවැන්ත අන්තර්ජාතික මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බව වාර්තා වෙයි.
ඒ අනුව, යානය සෙවීම සඳහා ඇමෙරිකාවේ විශේෂ සෝදිසි කණ්ඩායමක්ද මේ වනවිට පැමිණ ඇති බව පැවසෙයි.
පසුගිය සෙනසුරාදා යානය අතුරුදන් වී මේ වනවිට සතියක් ගෙවී අවසන් අතර, ගුවන්යානා ආරක්ෂණය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි අවධානයක් යොමු වීමට මේ සිදුවීම හේතු වී ඇත.
කලින් විශ්වාස කළ කාලසීමාවට වඩා වැඩි කාලසීමාවක් අතුරුදන් වූ යානය ගුවනේ පියාසර කරමින් තිබීමේ ඉඩකඩ වැඩි බවට තොරතුරු අනාවරණය වීමත් සමග ඇමෙරිකාව මේ ආකාරයෙන් විශේෂඥ කණ්ඩායම් පිටත් කර එවා තිබේ.
ඒ අනුව, මෙහෙයුම ව්‍යාප්ත කරමින් ඇමෙරිකාව සිය නාවික යාත්‍රාවක් සහ ඉතාම දියුණු මට්ටමේ ඔත්තු බලන ගුවන් යානයක්ද මැලේසියාවෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි ඉන්දියානු සාගරය කරා යවා ඇති බව පැවසෙයි.
මේ අතර, ගුවන් යානය අතුරුදන් වී ඇති බව දැනගැනීමෙන් පැය පහකට ආසන්න කාලයක් යානයෙන් චන්ද්‍රිකාවලට සංඥා ලැබී ඇතැයිද නම් සඳහන් නොකළ නිලධාරීහු අනාවරණය කර තිබේ.
එම අලුත් තොරතුරු සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණ නැති නමුත්, මැලේසියාව ඒ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මැලේසියානු රජයේ ඉල්ලීමක් අනුව ඉන්දියානු නාවික හමුදාවත් සිය නාවික, ගුවන් හමුදා මෙන්ම වෙරළාරක්ෂක අංශත් සෝදිසි මෙහෙයුමේ සහයෝගයට එක් කරනු ලැබ ඇත.
මෑත යුගයේ දැඩි ආන්දෝලනයක් හා උභතෝකෝටියක් ජනිත කිරීමට හේතු වූ මෙම ගුවන් යානා අතුරුදන් වීම සමඟ මගීන් විශාල සංඛ්‍යාවක් සහිත ගුවන් යානයක් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමින් අතුරුදහන් වූයේ කෙසේද යන්න සහ අතුරුදහන් යානයක් සොයා ගනු ලබන්නේ කෙසේද යන කාරණා කෙරෙහි අවධානය යොමු වෙමින් පවතී.
මෙම සිද්ධියත් සමඟ ගුවන් යානය පැහැර ගනු ලැබීමකට, එය විනාශ කර දමනු ලැබීමකට මෙන්ම මගීන් සහ කාර්ය මණ්ඩලය අසීරු තත්වයකට පත් වීමට හේතු වෙන මට්ටමින් යානය අභ්‍යන්තරයේ පැවතිය යුතු පීඩනය පහත වැටීමට තිබූ ඉඩකඩ ආදී කරුණු කෙරෙහිත් සැලකිල්ල යොමුව ඇති බවද වාර්තා වෙයි.
MH370 අතුරුදන්ව සතියයි පාකිස්තාන සීමාවට ගියාද?
මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය පුද්ගලයන් 229 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී අතුරුදන්ව සතියක් ගත වුවත්, යානය පිළිබඳ පැහැදිලි තොරතුක් සොයා ගැනීමට තාක්ෂණයෙන් අනූන ලොව කිසිදු බලවත් රටක් තවම සමත් නොවීම විමතියට කරුණක් වී තිබුණු බව ඊයේ සවස් වන විට වාර්තා කළේය.
මේ අතර, හමුදා රේඩාර් පද්ධතිවලින් ලැබී ඇති දත්තවලට අනුව හිතාමතාම මෙම යානය අන්දමන් දූපත් වෙත පියාසර කර ඇති බවට තොරතුරු ලැබී තිබුණි.
මීට පෙර වාර්තා කිහිපයකින් කියවී තිබුනේ යානය පැය පහකට වඩා වැඩි කාලයක් ගමන් කරමින් කිලෝමීටර් 2,200කට වඩා වැඩි දුරක් ගමන් කර ඇති බවය. එසේ වුවහොත් යානය අනිවාර්යයෙන්ම ඉන්දියානු සාගරයෙන් පාකිස්තාන දේශසීමාවට ළඟා විය යුතු බවට යානය පිළිබඳ පරීක්ෂණ සිදුකරන විශේෂඥයන් විශ්වාස කරයි.
එහිදී, හඳුනා නොගත් ගුවන් යානයක්, හෙවත් විමර්ශකයන් විශ්වාස කරන ආකාරයට අතුරුදන් වූ MH370 යානය, එය අවසාන වරට හමුදා රේඩාර් පද්ධතියට හසුවූ ස්ථානයේ සිට (ගුවන් ගමන් පාලන සංඥාවලට අවසන් වරට හසුවූ ස්ථානයෙන් ඔබ්බටත් ගමන් කළ පසු හමුදා රේඩාර් පද්ධතියේ නිරීක්ෂණයන්ගෙන්ද පසු ස්ථානය) වයඹදිග මුහුදු කලාපය ඔස්සේ යානය ගමන් කර ඇති බව රොයිටර් පුවත්සේවය පවසයි.
මේ නිරීක්ෂණයන් සනාථ වුවහොත්, යානය එහි නියමුවන් විසින් හෝ යානයේ ගමන්ගත් යමෙකුගේ අනුදැනුමක් මත මේ ආකාරයට වෙනත් දිශාවකට ගමන් කරවා ඇතැයි යන විශාල සැකය මේ වනවිට මතුව තිබේ.