මැලේසියානු ගුවන් සේවයට අයත්, MH370 මගී ගුවන් යානය දකුණුදිග ඉන්දියන් සාගරය ආශ්‍රිතව අතුරුදන්ව අද (08දා) දිනට දෙවසරක් සපිරෙයි.
මගීන් 227ක් හා කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කරමින් තිබියදී 2014 මාර්තු 08 වැනිදා බෝයිං 777 වර්ගයේ මෙම යානය රේඩාර් තිරයෙන් අතුරුදන්ව නොපෙනී ගියේය.
යානය අතුරුදන් වීමෙන් පසුව ලෝක ඉතිහාසයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්ත හා මහා වියදමක් දැරූ සෝදිසි මෙහෙයුම MH370 යානය සෙවීම සඳහා යෙදවුණු අතර, ඔස්ට්‍රේලියාව ප්රමුඛව රාජ්‍යයන් රැසක් මෙම මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක විය.
ප්‍රංශ රීයූනියන් දූපතෙන් හමුවූ බෝයිං 777 වර්ගයේ යානයකට අයත් පියාපත් කොටස අතුරුදන් වූ MH370 යානයේ කොටසක් බවට තහවුරු කරගැනීමත් සමග එතෙක් කිසිදු තොරතුරක් නොමැතිව තිබූ යානය යම් අනතුරකට බඳුන්වී ඇති බවත්, එහි කිසිවෙකු මේ වනවිට ජිවතුන් අතර නොමැති බවටත් තහවුරුවක් සමග යානය පිළිබඳ ප්‍රථම හෝඩුවාව ලෝකයට අනාවරණය විය.
නමුත්, මෑතකදීද මෙහි කොටස් බවට විශ්වාස කෙරෙන සුන්බුන් කැබලි කිහිපයක් මොසැම්බික් ආශ්‍රිතව හමුවී තිබුණත්, එකී කොටස් MH370 හා සම්බන්ධයක් ඇති බවට මෙතෙක් තහවුරු කරගෙන නොතිබුණි.
මේ තත්ත්වය තුළ MH370 පිළිබඳ අවසන් නිගමනයකට පැමිණීමට ඒ මහා සෝදිසි මෙහෙයුමටද මෙතෙක් අවස්ථාව ලැබී නොමැති අතර, ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය ප්රමුඛව සාගර පතුලේ සිදුකෙරෙන නීරීක්ෂණයන්ද මෙම ජූලි මස අවසන් වීමට නියමිතව ඇත.