අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ දේහය අද (06දා) සවස චෙන්නායි නුවරදී භූමදානය කෙරිණි.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවති අවමංගල්‍ය උත්සවයට අගමැති නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මෙන්ම බොහෝ දේශපාලන චරිත සහ දහස් සංඛ්‍යාත ජනතාවක් සිය අසහාය නායිකාවට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.
සිය සිනමා මෙන්ම දේශපාලන ආගමනයට මගපෙන්වූ එම්.ජී.ආර්. හෙවත් එම්.ජී. රාමචන්ද්‍රන්ගේ දේහය භූමදානය කළ ස්ථානය ආසන්නයේම සඳුන් දැවයෙන් කළ මංජුසාවක බහා ඇයගේ දේහයද තැන්පත් කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඇය නියෝජනය කළ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ තීරණයකට අනුව මේ ආකාරයෙන් ඇගේ දේහය එම්.ජී.ආර්. දේහය තැන්පත් කළ ස්ථානයට ආසන්නව තැන්පත් කෙරුණු බව කියැවෙයි.
එහිදී, හින්දු පූජකයන් පෙරටු කරගෙන ජයලලිතාගේ දේශපාලන දිවියේ දීර්ඝකාලීන මිතුරිය වූ සසිකලා නටරාජන් සහ ඇගේ බැණා වූ දීපක් එක්ව අවසන් ආගමික වතාවත් සිදුකරනු ලැබිණි.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට රෝගාතුරව සිටි ජයලලිතා ජයරාම් පසුගිය ඉරිදා දිනයේදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඇය සඳුදා රාත්‍රී 11.30 ට පමණ සිය දිවියෙන් සමුගත්තාය.