එල්.ටී.ටී.ඊ. සිරකරුවන් ලෙස දැනට බන්ධනාගාර ගත කොට සිටින සිරකරුවන් නොවැම්බර් මස 10 වෙනිදාට යෙදෙන දීපාවලි උළෙලට පෙර නිදහස් කිරීමට හැකි ඉක්මන් පියවර ගන්නා බව නීතිය හා සාමය පිළිබඳ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා යාපනයේදී කියා සිටියේය.
නවීකරණය කරණ ලද යාපනය පන්නෙයි කලපුව ආසන්නයේ ඉදිවුණ බන්ධනාගාරය ඊයේ (31දා) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
රුපියල් මිලියන 275 ක මුදලකින් නවීකරණය කෙරුණු නව බන්ධනාගාරයේ රැඳවියන් 1000 කට පහසුකම් ඇත.
ශ්‍රී ලංකාවේ දැනට සිරකරුවන් 18000 ක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාර ගත නොවිය යුතු පුද්ගලයින් බවත් අමාත්‍යවරයා පැවැසීය.
"බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගෙන් නඩු නොමැතිව සැක සහිත අයව නිදහස් කරන්න ඕන. මේ අයගෙන් විශාල තර්ජයක් තියනව කියනව නම් අපිට පුළුවන් කොන්දේසි පනවල නිදහස් කරන්න. ඒ වගේම අවුරුදු ගාණක් නඩු දාල අහගන්න බැරිව හිරවෙල තියනවනම් ඒ අයට ඇප ලබා දෙන්න පුළුවන්"