19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (28දා) සම්මත වීමත් සමග JR හා MR පරාද වූ බවත්, එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරාගැනීමට 19 වැනි සංශෝධනයට හැකි වූ බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙතෙක් පත්වූ සියලු ජනාධිපතිවරුන් ජනාධිපති බලතල ඉවත් කරන බවට පොරොන්දු දී අවසානයේ එම පොරොන්දු පාවා දුන් බවත්, රට පාලනයට පෞරුෂයක් නැතැයි චෝදනා එල්ල වූ කෙසඟ සිරුරක් ඇති ගමෙන් ආ ගොවි පුතෙකු රට වෙනස් කළ බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එසේම නායකයෙකුගේ ප්රතාපවත් බව තිබෙන්නේ සිරුරේවත් උඩු රැවුලේවත් නොවන බවත්, මෛත්‍රීපාල සිරිසේන යනු බණ්ඩාරනායක අගමැතිවරයාගෙන් පසු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයා වන බවත් සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.
19 වැනි ව්‍යවස්ථාව සම්මතයෙන් පසු ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යටතේ ප්‍රථමයෙන් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සිදුකිරීමට නියමිත බවත්, මැතිවරණ හා අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙකුත් කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකියන ආයතන ලෙස පිහිටුවීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.
19 සංශෝධනයෙන් පසු දෙවැනි පොරොන්දුව වන 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ සමග අවබෝධයකට පැමිණ ඉදිරියට කටයුතු කිරීම ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියේය.