ඉන්දීය ITC සමාගම හෝටල් ක්ෂේත්රයේ විදෙස් රටක සිදුකරන දැවැන්තම ආයෝජනය ලෙස කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට ඉදිකිරීමට නියමිත නේවාසික පහසුකම් සහිත සුඛෝපභෝගී හෝටලය (Luxury Hotel and Residences) වන ITC Colombo One හෝටල් ව්‍යාපෘතිය ඊයේ (19දා) සුබ මොහොතින් ආරම්භ විය.
ඇ.ඩො.මිලියන 300ක ආයෝජනයකින් සිදුවන ITC Colombo One හි පළමු වැනි අදියර හෝටල් කාමර 350කින් සහ සුඛෝපභෝගී නිවාස (Luxury Residences) 130කින් සමන්විත වෙයි. එමෙන්ම, උත්සව ශාලා (Banquet) පහසුකම් සහ ප්‍රණීත ආහාරපානද මෙහිදී පාරිභෝගිකයන්ට නොඅඩුව හිමිවනු ඇති අතර, ව්‍යාපාර කටයුතු හා කාර්යාල සඳහා ඉඩපහසුකම් වෙන්කිරීමට නියමිතව ඇති බවද සඳහන් කෙරිණි.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ ඉන්දීයානු මහකොමසාරිස් වයි.කේ. සිංහා සහ ඉන්දීයාවේ විශාලතම බහුව්යාපාර සමාගම ITC සමාගමේ සභාපති වයි.සී. දේවේශ්වර්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ යුද හමුදාපති ලුතිනන් ජෙනාරාල් ආර්.එම්. දයා රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු ඇරඹිණි.