එල්‘.ටී.ටී.ඊ. සංවිධානයේ මඩකලපුව නායකයා ලෙස කටයුතු කළ ආත්මලිංගම් රවින්ද්‍රන් (රූපන්) ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් (ITAK) මහ මැතිවරණයට තරග වැදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එසේම රූපන් ඒ සඳහා අවශ්‍ය නාමයෝජනා එම පක්ෂයට බාර දී ඇතැයිද සඳහන් වේ.
යම් හෙයකින් රූපන් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තු අසුනක් හිමි කරගතහොත් මැතිවරණයක් හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන පළමු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයා හෝ සන්නද්ධ සාමාජිකයා බවට ඔහු පත්වනු ඇත.
හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයෙකි.
සිවුවැනි ඊළාම් යුද්ධයෙන් පසුව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සම්බන්ධ කර නොගැනීමට එම පක්ෂය තීරණය කර තිබූ අතර, යම් හෙයකින් ඔහුට මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලැබුණහොත් එය එම පක්ෂයේ ප්රතිපත්තිද ගැටලුවට පත්වෙන අවස්ථාවක් වෙයි.
තම දේශපාලනය පිළිබඳව අදහස් දක්වා තිබෙන රූපන් පවසන්නේ තමන් 1987 වසරේ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අනුව ස්ථාපිත කළ උතුරු - නැගෙනහිර ඒකාබද්ධ පළාත් සභාවේ නියෝජිතයෙකු වූ බවත්, 1990 වසරේදී එවකට ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතා සමග පැවැති සාකච්ඡාවලට එක්වූ එල්.ටී.ටී.ඊ. කණ්ඩායමේ සාමාජිකයෙකුද වූ බවයි.