IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ඉරාකයේ අගනගරය වන බැග්ඩෑඩ් නුවර වෙත එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර දෙකකින් පුද්ගලයන් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරිදා දිනයේ එල්ල වූ මේ ත්රස්ත ප්රහාරය මෙම වසරේදී බැග්ඩෑඩ් නගරය වෙත එල්ල කෙරුණු දරුණුතම ත්රස්ත ප්රහාරය ලෙස සැලකෙන අතර, මියගිය පිරිස 100 ඉක්මවනු ඇති බවටද ඇතැම් වාර්තා පවසයි.
පොලීසිය පවසන පරිදි යතුරුපැදි දෙකක නැගී පැමිණ ඇති ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ජනයාගෙන් පිරී ගිය ජංගම දුරකථන වෙළෙඳ පොළක් තුළ මෙම පිපිරීම් සිදුකර ඇත.
ෂීට් මුස්ලිම්වරුන්ව ඉලක්ක කරගෙන එල්ල කෙරී ඇති මෙම ප්රහාරයේ වගකීම භාරගනිමින් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් පවසා ඇත්තේ, තම ඇදහීම ප්රතික්ෂේප කරන්නවුන් කොහේ සිටියත්, ඔවුන්ගේ හිස ගසා දැමීමට තම අසිපත්වලට කිසිදු විරාමයක් නොමැති බවය.
ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්රහාරවල සහාය ඇතිව ඉරාක හමුදා ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ග්රහණයේ පවතින භූමිය යළි අත්පත් කරගැනීමට ගෙනයන ප්රබල ප්රහාර මාලාවද මෙම ප්රහාරයන්ට හේතු වන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි.
නමුත්, සිය පාලනයෙන් තොර ප්රදේශවල පවා මෙවැනි ප්රහාර එල්ල කිරීම තුළින් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් දෙවියන්ගේ නාමයෙන් සිදුකරන මහා අපරාධවලට ඉරාකයේ සුළුතර ෂිට් මුස්ලිම්වරු නිරන්තරයෙන් ගොදුරුවන බවද විදෙස් වාර්තා පවසයි.
මෙම ම්ලේච්ඡ ප්රහාරය පිළිබඳ අදහස් දක්වමින් ඉරාක අගමැති හයිදර් අල්-අබාදි පවසන්නේ තම නිර්භීත සොල්දාදුවන්ගේ ප්රහාර හමුවේ සිය බලය හීන වෙමින් යන මේ කල්ලිය අහිංසක සිවිල් වැසියන්ගෙන් පළිගන්නා බවය.