එච්.අයි.වී. වෛරසය මවගෙන් දරුවාට බෝවීම වැළැක්වූ රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය මේවසර අවසන් වීමට ප්‍රථම ලබාගත හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.
පසුගිය වසර (2016) අවසන් වනවිට මවුවරුන්ගෙන් 95%ක් පමණ එච්.අයි.වී.පරීක්ෂාවට ලක්කළ අතර, ඒ අතරින් ආසාදිතයන් වාර්තා වූයේ 15 ක් පමණක් බවද ලියනගේ මහතා පැවසීය.
ශ්‍රීලංකාව තුළ මවුවරුන්ගෙන් ළමුන්ට එච්.අයි.වී. සහ අවජන්ම උපදංශය ආසාදනය වීම සම්පූර්ණයෙන්ම නතරකරගැනීම තම සංවිධානයේ අරමුණ වී ඇති බවත්, ඒ සඳහා මවක් වීමට ප්‍රථම සියලුදෙනා එච්.අයි.වී. පරීක්ෂණයට යොමුකිරීමට සහ තරුණ ගැහැණු ළමයින්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබාදීම සිදුකළ යුතු බවත් ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
එම කරුණු සියල්ල සිදු වුවහොත්ශ්රීලංකාව තුළ මෙම ආසාදනයසිදු වීම වැළැක්වීමට හැකිවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම පරීක්ෂණය සිදුකරගත් සියලු මවුවරුන්ට තමා ස්තුතිවන්ත වන අතර, අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් රෝගය බෝවීම වැළැක්වීම සඳහා තවදුරටත් වැඩසටහන් පවත්වන බවද වෛද්‍ය සිසිර ලියනගේ මහතා කීයය.
පසුගිය වසරේ(2016) එච්.අයි.වී. ආසාදිත කාත්තාවන් 61 දෙනෙකු සහ පිරිමින් 179 දෙනෙකු වාර්තා වී ඇත. එබැවින් කාන්තාවන් පමණක් නොව පුරුෂ පාර්ශ්වයද එච්.අයි.වී. ආසාදනය වළක්වාගැනීමට සහයෝගය දියයුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සිසිර ලියනගේ මහතා,
“මෙහිදීමවුවරුන් සියලුදෙනාම පරීක්ෂා කළ යුතු වෙනවා. ලෝක සෞඛ්‍ය දර්ශකවලට අනුව මවුවරුන් ලක්ෂයක් අතුරින් ආසාදිත මවුවරු සිටිය යුත්තේ පනහකට අඩුවෙන්. නමුත් ලංකාවේ තුන්ලක්ෂ හතළිස්දහසක් මවුවරුන් පරීක්ෂා කිරීමේදී එච්.අයි.වී. ආසාදිතයන් සිටියේ පහළොස් දෙනෙකු පමණයි. ඒඅනුව එච්.අයි.වී. වෛරසය මවගෙන් දරුවාට බෝවීම වැළැක්වූ රටක් මට්ටමට අපි ළඟා වී සිටින්නේ. මෙය වසර දෙකක් නොකඩවා සිදුකළ යුතුයි. 2013 වසරේ මෙය ආරම්භ කළේ. ඒවගේම අදාළ තත්ත්වය ලබාගැනීමට අවශ්‍ය නිර්ණායක මේවනවිට සපුරමින් සිටිනවා.
ඒවගේම මේපිළිබඳ සොයාබැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ලංකාවට පැමිණෙනවා. ඔවුන් එය සොයා බලා මෙම සහතිකය ලබාදෙනවා*යැයි පැවසීය. මේ වනවිට කියුබාව සහ තායිලන්තය යන රටවල් මවගෙන් දරුවාට එච්.අයි.වී. බෝවීම වැළැක්වූ රටවල් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.