එක්සත් ජාතික පෙරමුණ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය අතර ගිවිසුමක් අද (03දා) සවස අත්සන් කිරීමට නියමිතය.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට ප්රජාතන්ත්රවාදී පක්ෂය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග වැදීමත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිරිනැමීමත් සිදුවනු ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර දීර්ඝ වශයෙන් සිදුකෙරුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම අත්සන් කෙරේ.
එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට පිරිනැමීම මෙන්ම බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ධුරයද එම පක්ෂයට ලබාදීමට මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබේ.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදි එක්සත් ජාතික පෙරමුණ සමග අරලියගහ මන්දිරයේදී අද සන්ධානගත වන බවත්, ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග වදින බවත් එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අරුණ දීපාල් මහතා 'අද' ට පැවසීය.
එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තම පක්ෂයට ලබාදීම පිළිබඳව මෙතෙක් නිල වශයෙන් සාකච්ඡා නොවූ බවත්, එලෙස අමාත්‍යාංශය ලබාදෙන්නේ නම් බස්නාහිර පළාත් සභාවේ ප්රජාතන්ත්රවාදී පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨයා තමන් බවත් හෙතෙම පැවසීය.
ඒ අනුව දේපාර්ශ්වයේ මහ ලේකම්වරුන් අද දිනයේදී අරලියගහ මන්දිරයේදී අදාළ ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.