ෆිදෙල් කැස්ත්‍රෝ ලොවට කියාදුන් වැදගත්ම දේශපාලන පාඩමක් නම් අධිපතිවාදී මහා බලවතුන් හමුවේ වුවත්, කුඩා රටක් තම ස්වෛරීත්වයත්, ස්වාධීනත්වයත් රැකගෙන ඉදිරියට යෑම බවත්, ඔහු පිළිබඳ මතකය අපට ඉදිරියටත් ආදර්ශයක් වන ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
චීනයේ සංචාරයක නියැලී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය ගැන කියුබානු ජනාධිපතිවරයාට තම සංවේගය ප්‍රකාශ කරමින් ලිපියක් යවමින් මෙම අදහස් පළ කර තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,
කියුබානු විප්ලවයේ නායක, සමාජවාදී කියුබාවේ නිර්මාතෘ සහ අපේ යුගයේ ශ්‍රේෂ්ඨතම නායකයෙකු වූ ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය ගැන අපි මහත්සේ කණගාටු වෙමු. මේ සම්බන්ධයෙන් අපගේ සංවේගය ඔහුගේ සොහොයුරා මෙන්ම දේශපාලන අනුප්රාප්තිකයාද වන ඔබටත්, කියුබානු ජනතාවටත් ප්‍රකාශකර සිටීමට කැමැත්තෙමි. ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය යුගයක අවසානය සනිටුහන් කරයි. ඔහු නායකත්වය දුන් කියුබානු විප්ලවය ලොව පුරා තරුණයන්ගේ ආකාර්ශණය දිනාගත් දේශපාලන සංසිද්ධියක් විය. ෆිදෙල් කැස්ත්‍රෝ මහතා ලොවට කියාදුන් වැදගත්ම දේශපාලන පාඩමක් වූයේ අධිපතිවාදී මහා බලවතුන් හමුවේ වුවත්, කුඩා රටක් තම ස්වෛරීත්වයත්, ස්වාධීනත්වයත් රැකගෙන ඉදිරියට යන්නේ කෙසේද යන්නයි. ඔහු පිළිබඳ මතකය අපට ඉදිරියටත් ආදර්ශයක් වෙනු ඇත.