(UPDATE) කියුබාවේ හිටපු නායක හා කියුබානු විප්ලවයේ අසහාය නායක ෆිදෙල් කැස්ත්‍රෝ අවුරුදු 90ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
කියුබාවේ රාජ්‍ය රූපවාහිනිය මෙම ශෝකජනක ප්‍රවෘත්තිය නිල වශයෙන් ප්‍රකාශ කළද, කොමියුනිස්ට් විප්ලවයේ ප්රමුඛ නායකයාගේ අභාවය පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු වාර්තා කර නොමැත.
දශක භාගයකට වැඩි කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වසරේදී සිය සහෝදරයා වූ රාවුල් කැස්ත්‍රෝ වෙත කියුබාවේ සුක්ඛානම භාර කළේය.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි කැස්ත්‍රෝ එරට වේලාවෙන් සිකුරාදා (25දා) රාත්‍රී 10.29 ට පමණ සැන්තියේගෝ නුවරදී අභාවප්‍රාප්ත වූ බව රාවුල් කැස්ත්‍රෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
"කියුබානු විප්ලවයේ නායකයා මේ රාත්රියේදී, එනම් 25 වැනිදා රාත්‍රී 10.29 ට අපෙන් සමුගත්තා." රාවුල් කැස්ත්‍රෝ පැවසීය.
සෙනසුරාදා දිනයේ ආදාහන කටයුතුවලින් අනතුරුව ඔහුගේ අළු තැන්පත් කෙරුණු මංජුසාව දෙසැම්බර් 4 වැනි ඉරිදා තැන්පත් කෙරෙන බව රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කර තිබුණත්, මෙම ආදායනය සිදුවූ බව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ නොවූ බව ප්‍රංශ පුවත් සේවය පවසයි.
මෙම දූපත් රාජ්‍ය තුළ සිය අසහාය නායකයා වෙනුවෙන් එම දින නවය පුරා ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ෆිදෙල් ඇලෙක්සැන්ඩෝ කැස්ත්‍රෝ රුස් උපත ලැබූවේ වර්ෂ 1926 අගෝස්තු 13 වැනිදාය. වර්ෂ 1959 සිට 1976 දක්වා කියුබාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද 1976 සිට 2008 දක්වා එහි ජනාධිපති ලෙසින්ද සේවය කළ කියුබානු කොමියුනිස්ට් විප්ලවයේ නියමුවා මෙන්ම, එරට ප්රමුඛ දේශපාලඥයා වූයේද ඔහුය.
එමෙන්ම, 1961 ජුනි 24 වැනිදා සිට 2011 අප්‍රේල් 19 වැනිදා දක්වා කියුබාන් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ප්‍රථම ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේද ෆිදෙල් කැස්ත්‍රෝ විසිනි. පසුව එහි ලේකම් ධුරය වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ වෙත පිරිනැමුණි.
එමෙන්ම, වර්ෂ 1976 දෙසැම්බර් 02 වැනිදා සිට 2008 පෙබරවාරි 24 වැනිදා දක්වා කියුබානු අමාත්‍ය මණ්ඩල කවුන්සිලයේ සභාපති ලෙසද කටයුතු කරනු ලැබුවේ ෆිදෙල් කැස්ත්‍රෝ විසිනි. දැන් එම මණ්ඩලයේ සභාපති ධුරය වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ විසින් දරනු ලබයි.
ෆිදෙල් කැස්ත්‍රෝ 1959 පෙබරවාරි 16 වැනිදා සිට 1976 දෙසැම්බර් 02 වැනිදා දක්වා කියුබාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.
එමෙන්ම, නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 7 වැනි සහ 23 වැනි මහලේකම් ධුරයද වර්ෂ 1979 සැප්තැම්බර් 10 වැනිදා සිට 1983 මාර්තු 06 වැනිදා දක්වාත්, වර්ෂ 2006 සැප්තැම්බර් 16 වැනිදා සිට 2008 පෙබරවාරි 24 වැනිදා දක්වාත් ෆිදෙල් කැස්ත්‍රෝ විසින් දරා තිබේ.
ෆිදෙල් අලෙක්සැන්ඩෝ කැස්ත්‍රෝ රුස් හෙවත් කවුරුත් ෆිදෙල් කැස්ත්‍රෝ නමින් හඳුන්වන මේ අසහාය නායකයා පසුගිය අගෝස්තු 13 වැනිදා සිය 90 වැනි ජන්ම දිනය සමරනු ලැබීය.
ඇමෙරිකාව විසින් කියුබාවට සම්බාධක යොදමින් කියුබාව තලාපෙලා දැමීමට කටයුතු කළ අවධියේ සිටම ඇමෙරිකානු සපත්තුවට යට නොවී, ඔහු පෑ අසහාය නායකත්වය කියුබානු ජනතාවගේ මෙන්ම, ලොව බොහෝ කොමියුනිස්ට් රාජ්‍යයන්ගේ පැසසුමට නිරන්තරයෙන් ලක්වූ බව නොරහසකි.
මෑතකදී ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා කියුබාවේ සංචාරයක නිරත වෙමින්, කියුබාව වෙත පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින්, කියුබාව සමග යළි හොඳ හිත වර්ධනය කරගැනීමේ වෑයමක නිරත වුවද, ඒ සියලු කර්තව්‍යයන් සිය සහෝදරයා වූ වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝට පැවරූ ඔහු, ඇමෙරිකානු නායකයා මුණ ගැසීමටවත් නොපැමිණියේ ඔහු තුළ එදා මෙන්ම අද දක්වාම පැවති නොසැලෙන ගතිය පෙන්වමිනි.