ශ්‍රී ලංකාවේ ළමා ජනගහනය වන 4,571,442 අතුරින් ළමයින් 39,007 ක් අනතුරුදායක රැකියාවල නිරතවන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකළ ළමයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණයේදී වාර්තා වීඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනඥ චාන්දනී විජේබණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.
අවදානම් සහ අන්තරායකාරී ළමා ශ්‍රමය ශ්‍රීලංකාවෙන් තුරන් කිරීමේ වැඩසටහන පිළිබඳ දැනුවත්කිරීමේ හමුවක් කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය මගින් කොළඹදී සංවිධානය කර තිබූ අතර, එහිදී අදහස් දක්වමින් ඇය මේබව කීවාය.
මේවනවිට අනතුරුදායක රැකියාවල නිරතව සිටින ළමයින් ප්‍රමාණය වන 39,007 ප්‍රතිශතයක් ලෙස 0.9% ක් වන අතර, 2008 වර්ෂයේදී එය 63,916 ක් හෙවත් 1.3% ක් ලෙස පැවැති බවද විජේබණ්ඩාර මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් මේවනවිට ශ්‍රීලංකාව තුළ අනතුරුදායක රැකියාවල නිරතවන ළමයින් ප්‍රමාණය මෙන්ම ළමා ශ්‍රමිකයන් ප්‍රමාණයද 2008 වසරට සාපේක්ෂව අඩුවී ඇති බවද ඇය පෙන්වාදුන්නාය.
එමෙන්ම ශ්‍රීලංකාවේ ළමා ජනගහනයෙන් 0.1% ක ප්‍රමාණයක් හෙවත් 4,707 ක ප්‍රමාණයක් අනතුරුදායක නොවන රැකියාවල නිරතවන බවද වාර්තාවී ඇත.
අනතුරුදායක රැකියාවල නිරතවන ළමයින් අතුරින් 88.2% ක් හෙවත් 34,395 ක් පාසල් නොයන බව සමීක්ෂණ මගින් හෙළි වී ඇති අතර, ග්‍රාමීය ප්‍රදේශවලට වඩා වතු හා නාගරික ප්‍රදේශ තුළ පාසල් නොයන ළමයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද ඇය ප්‍රකාශ කළාය.
ළමයින් ශ්‍රමයේ යෙදවීම අතුරින් වැඩිම අයහපත් තත්ත්වයක් පෙන්නුම් කරනුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන අතර, එය 59% කි.
ත්‍රිකුණාමලය 47.8% ක්, මොණරාගල 46.9% ක්, කළුතර 43.97% ක් හා මාතර 41% ක් ලෙස ළමයින් ශ්‍රමයේ යොදවන බවට සමීක්ෂණ වාර්තා මගින් හෙළිදරව්වී ඇති බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
එමෙන්ම සමස්තයක් ලෙස ශ්‍රීලංකාවේ ළමා ශ්‍රම උපයෝජනය තවදුරටත් අවම කරගැනීම සඳහා ඉදිරිසැලසුම් සකස් කිරීමට කටයුතු යෙදීම අවශ්‍ය බවද විජේබණ්ඩාර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.