හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් විසින් එම විද්‍යාලයේ සිසුන් හතර දෙනෙකුට පහරදීම හේතුවෙන් එම සිසුන් ඊයේ (28දා) හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන් පිරිසක් පෙරේදා (27දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා මුණගැසී සාකච්ඡා කර ඇති අතර, ඊට සහභාගී වූ දෙමවුපියන්ගේ දරුවන් සොයා ගුරුවරුන් මෙලෙස පහර දී තිබෙන බව වාර්තා වේ.
මෙම විද්‍යාලයේ පාසල පවත්වන කාලසීමාව පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පැවති අතර, නව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පසුගියදා එය පෙරවරු 7.30 සිය පස්වරු 1.30 දක්වා සංශෝධනය කළේය. ඇමතිවරයාගේ මෙම තීරණය සමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුනොකරන බවට සහ ලබාදෙන පහසුකම් කප්පාදු කරන බවට රාවයක් පැතිර ගොස් තිබේ
මේ තත්ත්වය මත පාසලේ ආචාර්ය මණ්ඩලය දෙකඩ වී ඇති බවද වාර්තා වේ.
නමුත් පෙරේදා (27දා) පාසල් සංවර්ධන කමිටුවේ නිලධාරීන් පිරිසක් සහ දෙමවුපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යවරයා හමුවී ඇත.
පාසලේ සංවර්ධන කටයුතු අඩාළ නොකරන බවත්, ලබාදෙන පහසුකම් කප්පාදු නොකරන බවත්, එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, අදාළ පහසුකම් සියල්ල ඒ අයුරින්ම ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී ප්‍රකාශ කර තිබේ. නමුත් පාසල පවත්වන වේලාව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා කාලසීමාව වෙනස් නොකරන බවද අමාත්‍යවරයා දන්වා ඇත.
මෙම සාකච්ඡාවට පසුව ඒ පිළිබඳව දැනුම්දීමට පාසලේ සංවර්ධන කමිටුව ඊයේ (28දා) දෙමාපියන් රැස්කර අතර, එහිදී මෙම තීරණ දැනුම්දී තිබේ. එහිදී රැස්වීම තරමක් උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. මෙම රැස්වීමෙන් පසුව අදාළ සාකච්ඡාවට සහභාගී වූ දෙමවුපියන්ගේ දරුවන් සොයා ගුරුවරුන් පිරිසක් මෙලෙස පහරදී තිබෙන බව වාර්තා වේ.
මෙම සිදුවීම් සම්බන්ධව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති නන්දන සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
මෙම සිදුවීම පිළිබඳව හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.