(VIDEO) හොරුන් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව යොදවා නොගන්නා ලෙසත් හොරුන් නැත්නම් මෙවැනි දේ නොකරන ලෙසත් රටේ තරුණ අය හොරු වෙනුවෙන් හොරු කියා කියන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරු අමතා ඉල්ලා සිටියේය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්රීවරුන් සිදුකළ බාධා කිරීම් නිසා එහි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
අග්රාමාත්යවරයාට එකී බාධා කිරීම් හමුවේ දිගින් දිගටම සිය කතාව සිදුකරගෙන ගියද තත්ත්වය පාලනය කිරීම සඳහා කථානායකවරයාටද මැදිහත් වීමට සිදුවිය.
එහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා පවසා සිටියේ වර්තමාන ආණ්ඩුව යටතේ දූෂණය නොමැති නිසා වසර දහයකට පසු ජීවන වියදම අඩු වී ඇති බවයි. මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ හොරකම් සහ දූෂණය සිදු නොවූ බවද පැවසූ වික්රමසිංහ මහතා මේ නිසා හොරකම් කළේ කවුදැයි ජනතාව ප්රශ්න කරන බවද සඳහන් කළේය.
ඒ අවස්ථාවේ පාරලිමේන්තුවේ විපක්ෂ මන්ත්රීවරුන්ගේ බාධාකිරීම් නිසා උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, ඒ නොතකා අදහස් දැක්වූ අග්රාමාත්යවරයා,
"වර්තමාන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වුණාම එතුමාට තිබුණු ආරක්ෂාව ඉවත් කළා. එතුමාට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කළා. කවුද ඒ ආරක්ෂාව අයින් කළේ. ඒත් ජනතාව ඒ ආරක්ෂාව දුන්නා. ඒ විතරක් නෙවෙයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත්, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංගටත් උවමනා ආරක්ෂාව දීල තියෙනවා.
කථානායකතුමාගේ බලය තියෙන්නේ මන්ත්රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. එතුමා ඒක කළා. නමුත් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාම මන්ත්රීවරුන් නෙවෙයි. ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බෑ. දැන් මෙතන බන්දුල ගුණවර්ධන මන්ත්රීතුමා කියන්නෙ, 'අපි පාර්ලිමේන්තුවෙ ඉඩදෙන්නෙ නෑ කිසිම දූෂණයක් ගැන විභාග කරන්න. අපි බලය යොදවනවා. අපි මේ සභාවට එනවා, අපි රෑ ඉන්නවා, අපි විස්කි බොනවා, අපි ඉඩදෙන්නෙ නෑ මේව විභාග කරන්න' කියලා. ලැජ්ජයි, ලැජ්ජයි, ලැජ්ජයි. මොනාද ඔය කතා, කළ ඔක්කොම ඇත්තයි. හොරු මෙතන ඉන්නවද? හොරු මෙතන නැත්නම් මේව කරන්නේ ඇයි? අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව යොදවන්න එපා හොරුන් ආරක්ෂා කරන්න.
කවුද මෙතන හොරු ආරක්ෂා කරන්න ඉන්නෙ. ඔන්න හොරු ආරක්ෂා කරන්න ඉන්නවා. හොරු වෙනුවෙන් හොරුනෙ. හොරු වෙනුවෙන් හොරු කියල තමයි අද මේ රටේ තරුණ අය කියන්නෙ. ඕකනේ කියන්න තියෙන්නෙ. අලි බබයි හොරු හතළිහයි වාගෙ එන්නෙ. හිටපු ජනාධිපතිතුමා කියල තියෙනවා එයාගෙ නීතිඥයො එක්ක බලාගන්නම් කියලා. මොනවටද තමුන්ගෙ වගේ වෙන්නෙ.
අනික මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ඔක්කොටම කලින් මං ආශ්රය කරල තියෙනවා. චන්ද්රිකා කුමාරතුංගත් හොඳට දන්නවා. පළමුවෙනි සතියෙ කී දෙනෙක් හිටියද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කතා කරන්න. මෙතන බැලුවා මෛත්රීපාල ජනාධිපතිතුමා ඇමතිකම් දෙයිද කියලා. දුන්නෙ නැතිවුණාම තමයි ඔය පැත්තට ගිහින් කෑ ගහන්නෙ.
චන්දිකා කුමාරතුංග ජනාධිපතිකම අතහැරියම පළමුවෙනි සතියෙ කී දෙනෙක් ගියාද? අපි කීපදෙනෙක් තමයි ගියේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ පළමුවෙනි සතියෙන් පස්සෙ කවුද කතාකළේ එතුමා ගැන හොයන්න? දැන් ඇවිත් කෑගහන්න පුළුවන්. ඒ මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරන්නද? තමන්ව ආරක්ෂා කරගන්න. ඔය කතා අපි දන්නවා" යනුවෙන් සඳහන් කළේය.
VIDEO