හොරු අල්ලන අයට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවෙන බවත් තමා අභියෝගවලින් පැන නොයන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
දකුණු පළාත් ධීවර ඇමති ඩී.වී. උපුල් මහතා තමාට කළ අභියෝගයට පිළිතුරු දෙමින් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. තමා හොරකම් කළ බවට රන්ජන් අමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍ය වුවහොත් ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව දකුණු පළාත් ඇමති අභියෝග කළේය.
“මම හොරකම් කරලා නෑ. අනුන් හොරකම් කරන්නයි මම අයින් වෙන්නයි ඕන නෑ. අපි ඉන්නේ හොරු අල්ලන්න. හොරු අල්ලන්න අපිට මේ අවස්ථාව දීලා තියෙන්නේ කෝප් කමිටුව හරහා. මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. පදනමක් දාලා පදනමේ අධ්යක්ෂ මණ්ඩලයේ ඉන්නවා ඒ අය. ලස්සනට හොරකම් ටික කෙරෙනවා. අපි හොරකම් ගැන අණාවරණය කරන්නේ ජීවිත පරිත්‍යාගයෙන්.
මැරයන්ට පුළුවන් ඕනම වෙලාවක අපිට ඇසිඩ් ගහන්න, මරන්න අපිව. අපිටත් ගෙවල්වලට වෙලා නිදාගෙන ඉන්න පුළුවන්.මම අභියෝගවලින් පැනලා යන්නේ නෑ. හොරු අල්ලන අයට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණා. ඕනම අභියෝගයට මුහුණ දෙන්න කැමතියි. ජනතාව එකතු වුණොත් හොරු අල්ලන්න ලේසියි”