ජාතික හෙළ උරුමය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව එහි මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 'අද' පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින, ත්රස්තවාදයට එරෙහි, උගත්, බුද්ධිමත් මෙන්ම දූෂණයෙන් තොර පුද්ගලයන්ට පක්ෂය විවෘත බවයි.
මීට අමතරව පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට සාපේක්ෂව රටේ කාන්තාව, තරුණ ප්‍රජාව හා වැඩකරන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීය. එය පාක්ෂික වශයෙන් නොව ජාතික වශයෙන් සිදු කිරීමට තීරණය කර ඇති බවද අමත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීම සඳහා කාන්තාව සවිබල ගැන්වීමේ වැඩසටහන් මාර්තු මාස 08 වැනිදා සිදුකිරීමට බලාපොරොත්තුවන බවද ඇමතිවරයා කියා සිටියේය. රටක ආර්ථිකයට වැඩි දායකත්වය ලබාදෙන වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මැයි 01 වැනිදා ආරම්භ කරන බවත්, දෛනික වැටුප් ලබන කම්කරුවාගේ සිට අන්තර්ජාලය හරහා මුදල් උපයන සියලු දෙනා ඒ හරහා දැනුවත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. රටේ තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා තරුණයන් මුහුණපාන ගැටලු හඳනාගෙන ඒවා විසඳීමට කටයුතු කිරීම සඳහා පක්ෂය මැදිහත්වන බවද ඔහු සඳහන් කළේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට එක්වීමට පක්ෂය තීරණය කර ඇති බවයි. එසේම පළාත් පාලන මැතිවරණයට ජාතික හෙළ උරමයෙන් තරග වැදීම සඳහා මේ වනවිට 300ක පමණ අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් පිළිබඳ කරුණු පැහැදිලි කළ ඇමතිවරයා, එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අතරින් හෙළ උරුමයට හිමිවූ මන්ත්‍රී ධුරයක් අතුරලියේ රතන හිමියන්ට පිරිනැමූ බවත්, උන්වහන්සේ ස්වාධීන වන්නේ නම් මන්ත්‍රීධුරය නැවතත් ජාතික හෙළ උරුමයට ලබාදිය යුතු බවත්කියා සිටියේය.