රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙතෙක් වෘත්තීමය සේවාවක් ලෙස පිළිනොගෙන තිබූ හෙද සේවාව වෘත්තීමය සේවාවක් බවට පත්කිරීමට එකඟවූ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.
මීට අමතරව මෙතෙක් හෙද සේවාවට බලපා තිබූ ගැටලු 16 ක් පිළිබඳවත් සාකච්ඡා කළ බවත්, එම ගැටලුවලට විසඳුම් ලබාදීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවූ බවත් උන්වහන්සේ පවසා සිටියහ.
මේ අනුව 2015 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ අතිකාල දීමනා, අනතුරු දීමනා භාණ්ඩ භාරකාරත්ව දීමනා ඒ අයුරින්ම ලබාදීමටත්, ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වූ බව උන්වහන්සේ අවධාරණය කළහ.
මීට අමතරව උසස් වීම්, බඳවා ගැනීම් වාර්ෂිකව පැවැත්වෙන කාල පිළිබඳව කාලසටහන් සකස් කිරීමටත්, 2009 බී කාණ්ඩායම හෙද නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට අනුව සුතිකා පුහුණුව අවසන් කිරීමට කටයුතු කිරීමටත් ඇතුළුව කරුණු ගණනාවකටම අනුමැතිය ලබාදුන් බව ආනන්ද හිමියෝ සඳහන් කර සිටියහ.