හිස් ජල බෝතල් දසලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දෛනිකව පරිසරයට එකතු වෙමින් තිබෙන බවත්, මේ නිසා දැඩි පරිසර හානියක් ඒ හරහා සිදුවෙමින් තිබෙන බවත් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
යම් කාලයක් භාවිත කළ හැකි බෝතල්වලට ජලය රැගෙන ගොස් භාවිත කිරීමට හැකියාව තිබුණද බොහෝ පිරිස් විලාසිතාවක් ලෙස අලෙවි කිරීමට තිබෙන ජල බෝතල් භාවිත කරන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
එලෙස භාවිත කරන අති බහුතර බෝතල් ප්‍රමාණයක් අවිධිමත් ලෙස පරිසරයට මුදාහරිමින් තිබෙන බවත්, මේනිසා වැඩිම හානියක් ශ්‍රී පාද අඩවිය ඇතුළු පූජනීය ස්ථානවල හා අධි සංවේදී පරිසර පද්ධති,වගුරු භූමි සහ ජලය බැස යන මාර්ගවලට හානි සිදුවෙමින් තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ලෝකයේ බොහෝ රටවල ජල බෝතල් නිෂ්පාදනය කරන ආයතන අදාළ බෝතල් ප්‍රතිචක්‍රිකරණය කරන බවත්, එහෙත් ලංකාව තුළ එවැනි වැඩපිළිවෙළක් හෝ හිස් ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රිකරණය කරන විධිමත් වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
මේනිසා කැළිකසළ මෙන්ම සමහර ස්ථානවල හිස් ජල බෝතල් සහිත ප්‍රදේශ විශාල වශයෙන් දැකගැනීමට හැකියාව තිබෙන බවත්, පොලිතීන් මෙන්ම මෙම ද්‍රව්‍යද දිරාපත් නොවන බවත් හේමන්ත විතානගේ මහතා පවසා සිටියේය.