ආණ්ඩුව පෙරළීමට කිසිම හැකියාවක් නොමැති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉල්ලුම්පත් 10,300ක් ලැබී තිබෙන බවත් ඔවුන් සඳහා සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස කීපයතුළ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීය.
ආණ්ඩුව පෙරළන්න කිසිම හැකියාවක් නෑ.ඒ තීන්දුව ගන්න පුළුවන් වන්නෙත් ජනාධිපතිතුමාට පමණයි.පක්ෂයට වඩා රට උතුම්. මේ රට දකුණු ආසියාවේ දියුණුම රටක් කිරීමටයි බලපොරොත්තු වන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසී ය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එජාපයේ හිරකාරයෙකු නොවන බවත්,එසේ චෝදනා කරන ශ්‍රීලනිපයේ පිරිස් විමල් වීරවංශලාගේ හෝ ගම්මන්පිලලාගේ හිරකාරයින් බවට පත්ව ඇති බවත් අද ශ්රීලනිපය මෙහෙයවන්නේ එහි අඩුපාඩු ගැන කතා කරන්නේ වීරවංශලා,ගම්මන්පිලලා බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
අද ශ්‍රීලනිපයේ කෑලි කඩන්න උත්සාහ කරන මේ අයගේ දේශපාලන ඉතිහාසය ගැන සොයාබලන ඕනෑම කෙනෙකුට ඒ අය ගැන සැබෑවටම දැනගත හැකි බව හෙතෙම සඳහන් කළේය.
ශක්තිමත්ව පැවති සන්ධාන ආණ්ඩුව කඩා බිඳදැමීමට කටයුතු කරනු ලැබුවේද වීරවංශලා හා ගම්මන්පිලලා බවත්,අදත් ඒ අය පක්ෂය කඩාබිඳ දැමීමට කටයුතු කරන ආකාරය දැකගත හැකි බවත්,අවාසනාවට එය ශ්‍රීලනිපයේ ඇතැමුන්ට නොවැටහෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.